Pages

 

Wednesday, July 13, 2011

කවුද මේ කුම්භකර්ණ කියන්නේ???????

සාමාන්‍යයෙන් වැඩිපුර නිදා ගන්න කැමති කෙනෙක්ට කුම්භකර්ණයෙක් කියල කියන එක අපේ අතීතයෙ ඉඳන් පැවතෙන දෙයක්නෙ. ඒත් ඇත්තටම කාටද මේ කුම්භකර්ණ කියන්නෙ කියලයි අද බදුලු පුත්‍රයා කියන්න යන්නෙ. සමහරු නම් (ඔය කිවුවට හැමෝම වගේ) අහලත් ඇති කුම්භකර්ණ ගැන. අහල තියෙන අයටයි නැති අයටයි හැමෝටම දැන ගන්නත් එක්ක පොඩ්ඩක් කියවල බලන්නකෝ.
කුම්භකර්ණ ගැනත් මුලින්ම සඳහනක් වෙන්නේ රාමායනයෙයි. රාවණ රජතුමාගේ බාල සහෝදරය තමයි කුම්භකර්ණ කියන්නෙ. අති විශාල ශරීරයක් තිබුනු කෙනෙක් තමයි කුම්භකර්ණ (යෝධයෙක් විදියටයි හැන්දින්වෙන්නෙ) ඉතින් ඔහු අතට අහුවෙන ඕනිම දෙයක් ගිල දමනවලු බඩගින්න නිසා. කුම්භකර්ණ මිනිසුන්ට කරදර කිරීම නිසා ඉන්ද්‍ර (දෙවියන්ගෙ නායකයා) කෝපයෙනුයි ඉඳල තියෙන්නෙ. ඒ නිසාම කුම්භකර්ණව පරාජය කරල විනාශ කරන්න ඉන්ද්‍ර ඔහුට පහර දීල තියෙනව. ඉන්ද්‍ර තමන්ගෙ සෙන්කෝලයෙන් (යගදාව) කුම්භකරණට ගහල තියෙනව කුම්භකර්ණ ක්ෂනිකව මේක ගිල දාල තියෙනව.ඒත් එක්කම කුම්භකර්ණ ඉදිරියට ඇවිත් ඉන්ද්‍ර ඉඳගෙන හිටපු ඇතාගෙ හොඬවැලෙන් අල්ලල ඈතට විසික් කරල තියෙනව. ඉතින් ඉන්ද්‍රවත් මේ විදිහට පරාජය කරන්න පුලුවන් කෙනෙක් තමයි කුම්භකර්ණ.
කොහොමහරි රාවණා රජතුමාට තමන්ගේ බලය වැඩි කරගන්න ඕනිවෙලා තියෙනව තුන් ලෝකයම තමන් යටතට ගන්න. ඉතින් ඒකට බ්‍රහ්ම වෙනුවෙන් යාඥා කරන්න ඔහු තීරනය කරල විභීශනත් කුම්භකර්ණත් එක්ක භාවනා කරන්න පටන් අරගෙන තියෙනවා. අවසානයේදි බ්‍රහ්ම ඔවුන් ගැන පැහැදිලා ඔවුන් කැමති දේවල් වරයන් විදිහට ඉල්ලන්න කියල තියෙනව. ඔය වෙලාවෙදි රාවණ ඉල්ලල තියෙන්න තමන්ට තුන් ලෝකයම යටත් කරගන්න බලයක් දෙන්න කියලයි.ඒ වරය බ්‍රහ්ම දීල තියෙනව. මෙතනදි ඉන්ද්‍ර හිතල තියෙනව කුම්භකර්ණටත් මේ විදිහෙම බලයක් දුන්නොත් එහෙම ඔහුව ලේසියෙන් පරාජය කරන්න බැරි වෙනව කියල. ඒ නිසා ඔහු සරස්වතී ලඟට ගිහින් මේ ගැන කියල මෝඩ විදිහෙ වරයක් ඉල්ලන්න කුම්භකර්ණව පොළඹවන්න කියල ඉල්ලීමක් කරල තියෙනව. ඉතින් කුම්භකර්ණ තමන්ගෙ වරය කියද්දි සරස්වතී විසින් ඔහුව පොළඹවල තියෙනව තමන්ට හැමදාම නිදාගෙන ඉන්න ඕනි කියල ඉල්ලන්න. මේ වරයත් බ්‍රහ්ම විසින් ඉටුකරල දීල තියෙනව. හැබැයි රාවණ මේ ගැන කලබල වෙලා තියෙනව මොකද ඔහුට කුම්භකර්ණගෙ සහයෝගය අනිවාරයයෙන්ම ඕනි නිසා. රාවණ ඉල්ලීමක් කරල තියෙනව බ්‍රහ්මගෙන් කුම්භකර්ණට දීපු වරය ඉවත් කරන්න කියල ඒත් බ්‍රහ්ම ඒක ප්‍රතික්ෂේප කරල තියෙනව. කොහොමහරි රාවණගේ ඉල්ලීම නිසා කුම්භකර්ණට මාස හයකට එක දවසක් ඇහැරල ඉන්න විදිහට වරය වෙනස් කරල තියෙනව. ඒ වගේම තමයි ඒ අතරතුර කවුරුහරි ඔහුව ඇහැරුවොත් ඔහුගේ ජීවිතයට අනතුරක් කියලත් බ්‍රහ්ම කියල තියෙනව. කුම්භකර්ණ ඔන්න ඔය විදිහට තමයි කුම්භකර්ණයෙක් උනේ.

රාම-රාවණ යුද්දෙදි රාවණ රජතුමාට කුම්භකර්ණගෙ සහයෝගය අවශ්‍යම වෙලා තියෙනව. ඉතින් කොහොමහරි කුම්භකර්ණව නින්දෙන් නැගිට්ටවන්න ඔහුට හැකිවෙලා තියෙනව. ඔහුට මේ යුද්දය ගැන කිවුවයෙන් පස්සෙ තමන්ගේ රටට තියෙන ආදරයත්, සොහොයුරාට තියෙන භක්තියත් නිසා කුම්භකර්ණ යුද්දයට යන්න ඉදිරිපත් වෙලා තියෙනව. කුම්භකර්ණට විවිධ වේෂයන් ගන්න පුලුවන් වීම නිසාත් තමන්ව තැන් ගනනාවක මවන්න තිබුනු හැකියාවත් නිසා රාමට අපහසු වෙලා තියෙනව ඇත්ත කුම්භකර්ණට පහර දෙන්න. ඒ වගේම තමයි කුම්භකර්ණ ගිනි වර්ෂාවක්, කලුගල් වර්ෂාවක් ඇතිකරල තියෙනව රාමගේ සේනාවට පහර දෙන්න.

මේවායෙන් රාමගේ සේනාව විශාල වශයෙන් විනාශ වෙලා තියෙනව. අවසානයේදී රාමා තමන් සතුව තිබු ප්‍රභලතම ඊතලයක් පාවිච්චි කරල තමයි කුම්භකර්ණව විනාශ කරල තියෙන්නෙ.
රාමායනයේ සඳහන් වෙන විදිහට නම් කුම්භකර්ණ කියන්නෙ බොහොම හොඳ හිතක් තිබුනු කෙනෙක්. ඔහු මුලින් රාවණට කියල තියෙනව යුද්ද කරන එක නතර කරල රාමගෙන් සමාව ගන්න කියල. කොහොමවුනත් රාමයනය ලියද්දි වාල්මිකි විසින් රාමට තරමක් හෝ පක්ෂපාති අයව හොඳ පුද්ගලයන් කරල තියෙන නිසා මෙහෙම ලියවුනා වෙන්නත් පුලුවන්. විභීෂනව හොඳ පුද්ගලයෙක් කරල තියෙන්නෙත් ඔය හේතුව නිසාමනෙ. කොහොම උනත් තමන්ගේ රටට, සහෝදරයට පක්ෂපාතී වෙලා වැඩකරපු කුම්භකර්ණ විභීෂනට වඩානම් රට ජාතිය ගැන කැක්කුමක් තිබ්බ පුද්ගලයෙක් කියලයි බදුලු පුත්‍රයටනම් හිතෙන්නෙ. ඔන්න ඕකයි අපි වැඩිපුර නිදාගන්න කෙනෙකුට කුම්භකර්ණයෙක් කියල කියන්නෙ..

Thursday, May 19, 2011

ලෝකයේ දැනට පවතින පැරනිම ලී පාලම

බදුලු පුත්‍රයාගේ කලින් බ්ලොග් ලිපියෙන් ලියවුනෙත් බදුල්ලෙ තියන පෞරාණික විහාරයක් වන දෝව පන්සල ගැනනෙ. අදත් ලියන්න යන්නෙ තවත් බොහොම පෞරාණික විහාරයක් ගැන ඒ තමයි බෝගොඩ රජ මහ විහාරය සහ බෝගොඩ ලී පාලම. බෝගොඩ ලී පාලම දැනට නොනැසී පවතින ලෝකයේ පරණම ලී පාලම බවයි බදුලු පුත්‍රයට ආරංචි උනේ. බදුල්ල බණ්ඩාරවෙල පාරේ බදුල්ලේ ඉඳන් 6km ක් විතර ගියාම හාලිඇලට එන්න පුළුවන්.

හාලිඇල වැලිමඩ පාරේ 11km විතර ගියාම ජගුල්ල හංදියට එන්න පුළුවන් එතනින් වම් පැත්තට තියෙන පාරේ තව 2.5km විතර ගියාම බෝගොඩ විහාරයට ලඟා වෙන්න පුළුවන් (මාර්ගය ගැන මේ විදිහට ටිකක් විස්තර ඇතිව කියන්න හේතු උනේ ගොඩක් අය මාර්ගය හරියටම දන්නෙ නැති නිසා). ගල්ලන්ද කියන ඔය උඩින් තමයි බෝගොඩ පාලම ඉදි කරල තියෙන්නේ.

පාලම නිර්මාණය කරන්න ගස් වර්ග 5ක ලී යොදාගෙන තියෙනවා. ඒ තමයි කොස්, කුඹුක්, කළුවර, මිල්ල, මිල් කියන ගස් වර්ග. අඩි 30ක් විතර උස කුඹුක් කඳක් උඩ තමයි පාලම ඉදි කරල තියෙන්නෙ. පාලම ඉදි කිරීමට ප්‍රධනම හේතුව වෙලා තියෙන්නෙ බදුල්ලෙ ඉඳන් මහනුවරට යන්න තියෙන කෙටිම මාර්ගය මේක වීම.බෝගොඩ පාලමේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි උලු වලින් හදල තියෙන වහලය. මේ වහලය හදල තියෙන්නේ සෙවන සඳහාත්, වැස්ස වගේ උවදුරු වලින් ආරක්ෂා වෙන්නත්.



පාලම ඉදි කිරීම එක්ක විවිධ ජනකථා බැඳී තිබෙනව. පාලම ඉදි කිරීම සිදු කරල තියෙන්නේ එක්තරා පියෙක් හා පුතෙක්. පුතාට පාලමේ අවසන් වැඩකොටසක් කරල එතනටම වෙලා ඉන්න කියල තාත්තා වෙන වැඩකට ගිහින් තියෙනව. හැබැයි පාලමේ චාරිත්‍ර වලට අනුව කළයුතු අවසන් වැඩකොටසකුත් තිබිල තියෙනවා. ඉතින් ඒ වැඩටික පුතාට කරන්න එපා කියලයි තාත්තා පිටවෙලා ගිහින් තියෙන්නේ මොකද පුතාට ඒ චාරිත්‍ර ගැන වැඩි දැනීමක් නැතිනිසා.ඒත් පුතාට පාලමේ වැඩනිම කරන්නට තිබුනු හදිසිය නිසා අර තාත්තා එපා කියල ගිය වැඩකොටසත් නිම කරල ඉදිරියට ගිහින් තියෙනවා පියාව මුණගැහෙන්න. ඒත් චාරිත්‍ර වලට අනුව පාලම නිම කරන්න නොහැකි වීම නිසා පුතාට ශාපයක් වැදිල අකාලයේ මිය ගිහින් තියෙනවා.


බෝගොඩ විහාරයේ බුදුමැදුර ගොඩනඟල තියෙන්නෙත් වහලය විදිහට ගල් පර්වතය යොදාගෙන.

බුදුමැදුරත් එක්කම දකුණු පසින් ගුහාවක් දකින්න පුළුවන් මේ ගුහාව ඌවේ ප්‍රාදේශීය පාලකයකු වෙච්ච බ්‍රහ්මදත්ත කියන නරපතියා විසින් වළගම්බා රජතුමාට පිළිගන්වල තියෙනවා. වළගම්බා රජතුමා ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් මිදිල අවුරුදු 2.5 ක් විතර මේ ගල් ගුහාවේ සැඟවී ඉඳල තියෙනව. ගල් ගුහාවත් එක්කම උමඟක් දකින්නට පුළුවන්. ඔය උමඟ දිගේ දෝව රජමහ විහාරයටත්, නාරංගල කන්දටත් , රුවන්වැල්ලටත් යන්න පුළුවන් බවයි දැනගන්න ලැබුනේ. දැනටත් මේ උමඟ විවෘතව තිබුනත් වවුලන් නිසාත්, අඳුර සහ දුගඳ නිසාත් මීටර කීපයකට වඩා ඉදිරියට යන්න බැරි බවයි බදුලු පුත්‍රයට දැන ගන්න ලැබුනෙ.උමඟ දිගේ ටිකක් ගිහින් බලන්න හිතේ ඇතිවුන ආශාව බදුලුපුත්‍රයට අතාරින්න සිද්දවුනේ තනියම බෝගොඩ බලන්න ආපු නිසා (පුංචි බයක් ඇතිවුනා කිවුවොත් ඇත්තටම හරි)

බෝගොඩට යන්න තියෙන මාර්ගයත් බොහොම ලස්සන එකක්. තැන් කීපයකම පාර ලඟම දියපාරවල් දකින්න පුළුවන්.
බෝගොඩ බලන්න යනවනම් ඒ දියපාරක් ලඟ නැවතිල සිසිල විඳල යන්න අමතක කරන්න එපා.

Saturday, February 26, 2011

ගස් ගල් පවා හඳුනාගත් බුදුගුණ ගැන තවත් උදාහරනයක්-දෝව රජ මහා විහාරය

බදුල්ල-බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ ගමන් කරද්දි හමුවන තවත් බොහොම වැදගත් ස්ථානයක් තමයි දෝව රජ මහා විහාරය. බණ්ඩාරවෙල ඉඳන් කිලොමීටර 6ක විතර දුරක් බදුල්ල පැත්තට ආවම දෝව විහාරයට ලඟාවෙන්න පුලුවන්. කුඹල්වෙල ප්‍රදේෂයෙ පිහිටල තියෙන මේ විහාරය වළගම්බා රජු විසින් ඉදිකරපු බවට සැලකෙනවා. වළගම්බා රජතුමාගේ කාලයේ දී සිදුවූ ඉංදීය ආක්‍රමනය නිසා රජතුමා පළායද්දී සැඟවී ඉන්න තෝරාගත් ස්ථානයක් තමයි ඔය දෝව විහාරය ආශ්‍රිත ප්‍රදේෂය.වළගම්බා රජතුමා විහාරයේ වැඩ ආරම්භ කලත් එය නිමා කරන්නට බැරිවෙලා තියෙනව. මොකද තමන්ව අල්ල ගන්න ආක්‍රමනිකයන් එන බව දැනගන්නට ලැබිල එතැනින් හදිසියෙම පළායන්න සිදුවන නිසා. නුවර යුගයේ දී තමයි විහාරයේ වැඩ නිමා කරල තියෙන්නේ.



රජතුමා පළායාම සඳහා රහස් උමඟක් පාවිච්චි කල බවයි සඳහන් වන්නේ. මේ උමඟ රාවණ මහ විහාරයටත්, බෝගොඩ රජමහ විහාරයටත් සම්බන්ධ වෙනවා. ඔය උමඟ රාවණ ගුහාව විදිහටත් සැලකෙනවා. උමඟට ආසන්නයේම මැටි වලින් හදපු නාගරූපයක් දකින්න පුළුවන්. උමඟ ආරක්ෂාව සඳහා මෙම රූපය තිබෙන බවයි බදුලු පුත්‍රයට දැනගන්න ලැබුනෙ. කොහොමවුනත් නිදන් හොරුන්ගෙන් සිදුවන විනාශයන් නිසා මේ උමඟ අද වන විට වසා දමල තියෙනව.

කලුගල් කුලකට යටින් පිහිටන විදිහට තමයි බුදුමැදුර ඉදි කරල තියෙන්නෙ. බුදුමැදුරට ඇතුල්වෙද්දි රාක්ෂ රූප දෙකක් දක්නට ලැබෙනව. එක රූපයක් ඇතෙක් කටින් ගෙන සිටිනව ඒක කුවේර විදිහටත්, ගොනෙක් කටින් අරන් ඉන්න අනිත් රූපය වටුක විදිහටත් හඳුන්වනව. මේ රාක්ෂයෙන් බුදුමැදුර මුරකරන බවටයි සැලකෙන්නේ.බුදු මැදුර නුවර යුගයට අයත් බිතු සිතුවම් වලින් සමන්විත වෙනවා.

මේ රූප අතර ඇත් ගොන් සටන විදිහට හඳුන්වන බොහොම දුර්ලභ චිත්‍රයක් දකින්නට පුළුවන්.(වෙනත් විහාරයක මේ රූපය දකින්න තියෙනවද කියන එකනම් බදුලු පුත්‍රයත් හරියටම දන්නෙ නෑ). නාග රූප භාවිතය විහාරයේ තැන් කීපයකම දකින්නට පුළුවන්. බුදු හිමියන්ට පැන් පූජා කරන භාජනය පවා නාග අනුරුවක් විදිහටයි සකසල තියෙන්නෙ.

විහාරයට ඇතුල් වෙද්දි පසෙකින් සිටිපිළිමයක් දකින්නට ලැබෙනව. කලුගල් වලින් කරල තියෙන මේ පිළිමය වළගම්බා රජතුමා විසින් තමයි නිම කරල තියෙන්නේ. පිළිමයේ වැඩවත් හරි විදිහට නිමා වෙන්න කලින් රජතුමාට පැනයන්නට සිදුවී තිබෙනව. ඉතින් අදටත් මේ අඩ්ක් නිම වෙච්ච පිළිමය දැක ගන්න පුළුවන්. පිළිමයත් එක්කම දකුණු පැත්තෙන් විශාල සපු ගහක් දක්නට ලැබෙනවා. මේ සපු ගහේ කිසිම අත්තක් බුදු පිළිමයට බාධා වන විදිහට වැවිල නෑ. සියළුම අතු වැවිල තියෙන්නෙ බුදු පිළිමයෙන් අනෙක් පසට වෙන්නට හෝ බුදු පිළිමයෙන් ඉහලට වන්නට. මේ ගස පවා බුදු හිමියන්ගේ අනන්ත බුදු ගුණ බලය හඳුනනව කියලයි දැක්කම හිතෙන්නේ.

දෝව විහාරය මේ විදිහට ගස් ගල් පවා බුදු ගුණ හඳුනා ගත් තැන්වලට එක උදාහරනයක් විතරයි. කොහොම උනත් ගස් ගල් පවා හඳුනා ගත්ත බුදුගුණ සමහර මිනිස්සුන්ට හඳුනා ගන්න බැරි ඇයිද කියන එක නම් බදුල පුත්‍රයටත් ප්‍රෂ්ණයක්..........