Pages

 

Saturday, February 26, 2011

ගස් ගල් පවා හඳුනාගත් බුදුගුණ ගැන තවත් උදාහරනයක්-දෝව රජ මහා විහාරය

බදුල්ල-බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ ගමන් කරද්දි හමුවන තවත් බොහොම වැදගත් ස්ථානයක් තමයි දෝව රජ මහා විහාරය. බණ්ඩාරවෙල ඉඳන් කිලොමීටර 6ක විතර දුරක් බදුල්ල පැත්තට ආවම දෝව විහාරයට ලඟාවෙන්න පුලුවන්. කුඹල්වෙල ප්‍රදේෂයෙ පිහිටල තියෙන මේ විහාරය වළගම්බා රජු විසින් ඉදිකරපු බවට සැලකෙනවා. වළගම්බා රජතුමාගේ කාලයේ දී සිදුවූ ඉංදීය ආක්‍රමනය නිසා රජතුමා පළායද්දී සැඟවී ඉන්න තෝරාගත් ස්ථානයක් තමයි ඔය දෝව විහාරය ආශ්‍රිත ප්‍රදේෂය.වළගම්බා රජතුමා විහාරයේ වැඩ ආරම්භ කලත් එය නිමා කරන්නට බැරිවෙලා තියෙනව. මොකද තමන්ව අල්ල ගන්න ආක්‍රමනිකයන් එන බව දැනගන්නට ලැබිල එතැනින් හදිසියෙම පළායන්න සිදුවන නිසා. නුවර යුගයේ දී තමයි විහාරයේ වැඩ නිමා කරල තියෙන්නේ.



රජතුමා පළායාම සඳහා රහස් උමඟක් පාවිච්චි කල බවයි සඳහන් වන්නේ. මේ උමඟ රාවණ මහ විහාරයටත්, බෝගොඩ රජමහ විහාරයටත් සම්බන්ධ වෙනවා. ඔය උමඟ රාවණ ගුහාව විදිහටත් සැලකෙනවා. උමඟට ආසන්නයේම මැටි වලින් හදපු නාගරූපයක් දකින්න පුළුවන්. උමඟ ආරක්ෂාව සඳහා මෙම රූපය තිබෙන බවයි බදුලු පුත්‍රයට දැනගන්න ලැබුනෙ. කොහොමවුනත් නිදන් හොරුන්ගෙන් සිදුවන විනාශයන් නිසා මේ උමඟ අද වන විට වසා දමල තියෙනව.

කලුගල් කුලකට යටින් පිහිටන විදිහට තමයි බුදුමැදුර ඉදි කරල තියෙන්නෙ. බුදුමැදුරට ඇතුල්වෙද්දි රාක්ෂ රූප දෙකක් දක්නට ලැබෙනව. එක රූපයක් ඇතෙක් කටින් ගෙන සිටිනව ඒක කුවේර විදිහටත්, ගොනෙක් කටින් අරන් ඉන්න අනිත් රූපය වටුක විදිහටත් හඳුන්වනව. මේ රාක්ෂයෙන් බුදුමැදුර මුරකරන බවටයි සැලකෙන්නේ.බුදු මැදුර නුවර යුගයට අයත් බිතු සිතුවම් වලින් සමන්විත වෙනවා.

මේ රූප අතර ඇත් ගොන් සටන විදිහට හඳුන්වන බොහොම දුර්ලභ චිත්‍රයක් දකින්නට පුළුවන්.(වෙනත් විහාරයක මේ රූපය දකින්න තියෙනවද කියන එකනම් බදුලු පුත්‍රයත් හරියටම දන්නෙ නෑ). නාග රූප භාවිතය විහාරයේ තැන් කීපයකම දකින්නට පුළුවන්. බුදු හිමියන්ට පැන් පූජා කරන භාජනය පවා නාග අනුරුවක් විදිහටයි සකසල තියෙන්නෙ.

විහාරයට ඇතුල් වෙද්දි පසෙකින් සිටිපිළිමයක් දකින්නට ලැබෙනව. කලුගල් වලින් කරල තියෙන මේ පිළිමය වළගම්බා රජතුමා විසින් තමයි නිම කරල තියෙන්නේ. පිළිමයේ වැඩවත් හරි විදිහට නිමා වෙන්න කලින් රජතුමාට පැනයන්නට සිදුවී තිබෙනව. ඉතින් අදටත් මේ අඩ්ක් නිම වෙච්ච පිළිමය දැක ගන්න පුළුවන්. පිළිමයත් එක්කම දකුණු පැත්තෙන් විශාල සපු ගහක් දක්නට ලැබෙනවා. මේ සපු ගහේ කිසිම අත්තක් බුදු පිළිමයට බාධා වන විදිහට වැවිල නෑ. සියළුම අතු වැවිල තියෙන්නෙ බුදු පිළිමයෙන් අනෙක් පසට වෙන්නට හෝ බුදු පිළිමයෙන් ඉහලට වන්නට. මේ ගස පවා බුදු හිමියන්ගේ අනන්ත බුදු ගුණ බලය හඳුනනව කියලයි දැක්කම හිතෙන්නේ.

දෝව විහාරය මේ විදිහට ගස් ගල් පවා බුදු ගුණ හඳුනා ගත් තැන්වලට එක උදාහරනයක් විතරයි. කොහොම උනත් ගස් ගල් පවා හඳුනා ගත්ත බුදුගුණ සමහර මිනිස්සුන්ට හඳුනා ගන්න බැරි ඇයිද කියන එක නම් බදුල පුත්‍රයටත් ප්‍රෂ්ණයක්..........