Pages

 

Wednesday, July 13, 2011

කවුද මේ කුම්භකර්ණ කියන්නේ???????

සාමාන්‍යයෙන් වැඩිපුර නිදා ගන්න කැමති කෙනෙක්ට කුම්භකර්ණයෙක් කියල කියන එක අපේ අතීතයෙ ඉඳන් පැවතෙන දෙයක්නෙ. ඒත් ඇත්තටම කාටද මේ කුම්භකර්ණ කියන්නෙ කියලයි අද බදුලු පුත්‍රයා කියන්න යන්නෙ. සමහරු නම් (ඔය කිවුවට හැමෝම වගේ) අහලත් ඇති කුම්භකර්ණ ගැන. අහල තියෙන අයටයි නැති අයටයි හැමෝටම දැන ගන්නත් එක්ක පොඩ්ඩක් කියවල බලන්නකෝ.
කුම්භකර්ණ ගැනත් මුලින්ම සඳහනක් වෙන්නේ රාමායනයෙයි. රාවණ රජතුමාගේ බාල සහෝදරය තමයි කුම්භකර්ණ කියන්නෙ. අති විශාල ශරීරයක් තිබුනු කෙනෙක් තමයි කුම්භකර්ණ (යෝධයෙක් විදියටයි හැන්දින්වෙන්නෙ) ඉතින් ඔහු අතට අහුවෙන ඕනිම දෙයක් ගිල දමනවලු බඩගින්න නිසා. කුම්භකර්ණ මිනිසුන්ට කරදර කිරීම නිසා ඉන්ද්‍ර (දෙවියන්ගෙ නායකයා) කෝපයෙනුයි ඉඳල තියෙන්නෙ. ඒ නිසාම කුම්භකර්ණව පරාජය කරල විනාශ කරන්න ඉන්ද්‍ර ඔහුට පහර දීල තියෙනව. ඉන්ද්‍ර තමන්ගෙ සෙන්කෝලයෙන් (යගදාව) කුම්භකරණට ගහල තියෙනව කුම්භකර්ණ ක්ෂනිකව මේක ගිල දාල තියෙනව.ඒත් එක්කම කුම්භකර්ණ ඉදිරියට ඇවිත් ඉන්ද්‍ර ඉඳගෙන හිටපු ඇතාගෙ හොඬවැලෙන් අල්ලල ඈතට විසික් කරල තියෙනව. ඉතින් ඉන්ද්‍රවත් මේ විදිහට පරාජය කරන්න පුලුවන් කෙනෙක් තමයි කුම්භකර්ණ.
කොහොමහරි රාවණා රජතුමාට තමන්ගේ බලය වැඩි කරගන්න ඕනිවෙලා තියෙනව තුන් ලෝකයම තමන් යටතට ගන්න. ඉතින් ඒකට බ්‍රහ්ම වෙනුවෙන් යාඥා කරන්න ඔහු තීරනය කරල විභීශනත් කුම්භකර්ණත් එක්ක භාවනා කරන්න පටන් අරගෙන තියෙනවා. අවසානයේදි බ්‍රහ්ම ඔවුන් ගැන පැහැදිලා ඔවුන් කැමති දේවල් වරයන් විදිහට ඉල්ලන්න කියල තියෙනව. ඔය වෙලාවෙදි රාවණ ඉල්ලල තියෙන්න තමන්ට තුන් ලෝකයම යටත් කරගන්න බලයක් දෙන්න කියලයි.ඒ වරය බ්‍රහ්ම දීල තියෙනව. මෙතනදි ඉන්ද්‍ර හිතල තියෙනව කුම්භකර්ණටත් මේ විදිහෙම බලයක් දුන්නොත් එහෙම ඔහුව ලේසියෙන් පරාජය කරන්න බැරි වෙනව කියල. ඒ නිසා ඔහු සරස්වතී ලඟට ගිහින් මේ ගැන කියල මෝඩ විදිහෙ වරයක් ඉල්ලන්න කුම්භකර්ණව පොළඹවන්න කියල ඉල්ලීමක් කරල තියෙනව. ඉතින් කුම්භකර්ණ තමන්ගෙ වරය කියද්දි සරස්වතී විසින් ඔහුව පොළඹවල තියෙනව තමන්ට හැමදාම නිදාගෙන ඉන්න ඕනි කියල ඉල්ලන්න. මේ වරයත් බ්‍රහ්ම විසින් ඉටුකරල දීල තියෙනව. හැබැයි රාවණ මේ ගැන කලබල වෙලා තියෙනව මොකද ඔහුට කුම්භකර්ණගෙ සහයෝගය අනිවාරයයෙන්ම ඕනි නිසා. රාවණ ඉල්ලීමක් කරල තියෙනව බ්‍රහ්මගෙන් කුම්භකර්ණට දීපු වරය ඉවත් කරන්න කියල ඒත් බ්‍රහ්ම ඒක ප්‍රතික්ෂේප කරල තියෙනව. කොහොමහරි රාවණගේ ඉල්ලීම නිසා කුම්භකර්ණට මාස හයකට එක දවසක් ඇහැරල ඉන්න විදිහට වරය වෙනස් කරල තියෙනව. ඒ වගේම තමයි ඒ අතරතුර කවුරුහරි ඔහුව ඇහැරුවොත් ඔහුගේ ජීවිතයට අනතුරක් කියලත් බ්‍රහ්ම කියල තියෙනව. කුම්භකර්ණ ඔන්න ඔය විදිහට තමයි කුම්භකර්ණයෙක් උනේ.

රාම-රාවණ යුද්දෙදි රාවණ රජතුමාට කුම්භකර්ණගෙ සහයෝගය අවශ්‍යම වෙලා තියෙනව. ඉතින් කොහොමහරි කුම්භකර්ණව නින්දෙන් නැගිට්ටවන්න ඔහුට හැකිවෙලා තියෙනව. ඔහුට මේ යුද්දය ගැන කිවුවයෙන් පස්සෙ තමන්ගේ රටට තියෙන ආදරයත්, සොහොයුරාට තියෙන භක්තියත් නිසා කුම්භකර්ණ යුද්දයට යන්න ඉදිරිපත් වෙලා තියෙනව. කුම්භකර්ණට විවිධ වේෂයන් ගන්න පුලුවන් වීම නිසාත් තමන්ව තැන් ගනනාවක මවන්න තිබුනු හැකියාවත් නිසා රාමට අපහසු වෙලා තියෙනව ඇත්ත කුම්භකර්ණට පහර දෙන්න. ඒ වගේම තමයි කුම්භකර්ණ ගිනි වර්ෂාවක්, කලුගල් වර්ෂාවක් ඇතිකරල තියෙනව රාමගේ සේනාවට පහර දෙන්න.

මේවායෙන් රාමගේ සේනාව විශාල වශයෙන් විනාශ වෙලා තියෙනව. අවසානයේදී රාමා තමන් සතුව තිබු ප්‍රභලතම ඊතලයක් පාවිච්චි කරල තමයි කුම්භකර්ණව විනාශ කරල තියෙන්නෙ.
රාමායනයේ සඳහන් වෙන විදිහට නම් කුම්භකර්ණ කියන්නෙ බොහොම හොඳ හිතක් තිබුනු කෙනෙක්. ඔහු මුලින් රාවණට කියල තියෙනව යුද්ද කරන එක නතර කරල රාමගෙන් සමාව ගන්න කියල. කොහොමවුනත් රාමයනය ලියද්දි වාල්මිකි විසින් රාමට තරමක් හෝ පක්ෂපාති අයව හොඳ පුද්ගලයන් කරල තියෙන නිසා මෙහෙම ලියවුනා වෙන්නත් පුලුවන්. විභීෂනව හොඳ පුද්ගලයෙක් කරල තියෙන්නෙත් ඔය හේතුව නිසාමනෙ. කොහොම උනත් තමන්ගේ රටට, සහෝදරයට පක්ෂපාතී වෙලා වැඩකරපු කුම්භකර්ණ විභීෂනට වඩානම් රට ජාතිය ගැන කැක්කුමක් තිබ්බ පුද්ගලයෙක් කියලයි බදුලු පුත්‍රයටනම් හිතෙන්නෙ. ඔන්න ඕකයි අපි වැඩිපුර නිදාගන්න කෙනෙකුට කුම්භකර්ණයෙක් කියල කියන්නෙ..

Thursday, May 19, 2011

ලෝකයේ දැනට පවතින පැරනිම ලී පාලම

බදුලු පුත්‍රයාගේ කලින් බ්ලොග් ලිපියෙන් ලියවුනෙත් බදුල්ලෙ තියන පෞරාණික විහාරයක් වන දෝව පන්සල ගැනනෙ. අදත් ලියන්න යන්නෙ තවත් බොහොම පෞරාණික විහාරයක් ගැන ඒ තමයි බෝගොඩ රජ මහ විහාරය සහ බෝගොඩ ලී පාලම. බෝගොඩ ලී පාලම දැනට නොනැසී පවතින ලෝකයේ පරණම ලී පාලම බවයි බදුලු පුත්‍රයට ආරංචි උනේ. බදුල්ල බණ්ඩාරවෙල පාරේ බදුල්ලේ ඉඳන් 6km ක් විතර ගියාම හාලිඇලට එන්න පුළුවන්.

හාලිඇල වැලිමඩ පාරේ 11km විතර ගියාම ජගුල්ල හංදියට එන්න පුළුවන් එතනින් වම් පැත්තට තියෙන පාරේ තව 2.5km විතර ගියාම බෝගොඩ විහාරයට ලඟා වෙන්න පුළුවන් (මාර්ගය ගැන මේ විදිහට ටිකක් විස්තර ඇතිව කියන්න හේතු උනේ ගොඩක් අය මාර්ගය හරියටම දන්නෙ නැති නිසා). ගල්ලන්ද කියන ඔය උඩින් තමයි බෝගොඩ පාලම ඉදි කරල තියෙන්නේ.

පාලම නිර්මාණය කරන්න ගස් වර්ග 5ක ලී යොදාගෙන තියෙනවා. ඒ තමයි කොස්, කුඹුක්, කළුවර, මිල්ල, මිල් කියන ගස් වර්ග. අඩි 30ක් විතර උස කුඹුක් කඳක් උඩ තමයි පාලම ඉදි කරල තියෙන්නෙ. පාලම ඉදි කිරීමට ප්‍රධනම හේතුව වෙලා තියෙන්නෙ බදුල්ලෙ ඉඳන් මහනුවරට යන්න තියෙන කෙටිම මාර්ගය මේක වීම.බෝගොඩ පාලමේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි උලු වලින් හදල තියෙන වහලය. මේ වහලය හදල තියෙන්නේ සෙවන සඳහාත්, වැස්ස වගේ උවදුරු වලින් ආරක්ෂා වෙන්නත්.



පාලම ඉදි කිරීම එක්ක විවිධ ජනකථා බැඳී තිබෙනව. පාලම ඉදි කිරීම සිදු කරල තියෙන්නේ එක්තරා පියෙක් හා පුතෙක්. පුතාට පාලමේ අවසන් වැඩකොටසක් කරල එතනටම වෙලා ඉන්න කියල තාත්තා වෙන වැඩකට ගිහින් තියෙනව. හැබැයි පාලමේ චාරිත්‍ර වලට අනුව කළයුතු අවසන් වැඩකොටසකුත් තිබිල තියෙනවා. ඉතින් ඒ වැඩටික පුතාට කරන්න එපා කියලයි තාත්තා පිටවෙලා ගිහින් තියෙන්නේ මොකද පුතාට ඒ චාරිත්‍ර ගැන වැඩි දැනීමක් නැතිනිසා.ඒත් පුතාට පාලමේ වැඩනිම කරන්නට තිබුනු හදිසිය නිසා අර තාත්තා එපා කියල ගිය වැඩකොටසත් නිම කරල ඉදිරියට ගිහින් තියෙනවා පියාව මුණගැහෙන්න. ඒත් චාරිත්‍ර වලට අනුව පාලම නිම කරන්න නොහැකි වීම නිසා පුතාට ශාපයක් වැදිල අකාලයේ මිය ගිහින් තියෙනවා.


බෝගොඩ විහාරයේ බුදුමැදුර ගොඩනඟල තියෙන්නෙත් වහලය විදිහට ගල් පර්වතය යොදාගෙන.

බුදුමැදුරත් එක්කම දකුණු පසින් ගුහාවක් දකින්න පුළුවන් මේ ගුහාව ඌවේ ප්‍රාදේශීය පාලකයකු වෙච්ච බ්‍රහ්මදත්ත කියන නරපතියා විසින් වළගම්බා රජතුමාට පිළිගන්වල තියෙනවා. වළගම්බා රජතුමා ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් මිදිල අවුරුදු 2.5 ක් විතර මේ ගල් ගුහාවේ සැඟවී ඉඳල තියෙනව. ගල් ගුහාවත් එක්කම උමඟක් දකින්නට පුළුවන්. ඔය උමඟ දිගේ දෝව රජමහ විහාරයටත්, නාරංගල කන්දටත් , රුවන්වැල්ලටත් යන්න පුළුවන් බවයි දැනගන්න ලැබුනේ. දැනටත් මේ උමඟ විවෘතව තිබුනත් වවුලන් නිසාත්, අඳුර සහ දුගඳ නිසාත් මීටර කීපයකට වඩා ඉදිරියට යන්න බැරි බවයි බදුලු පුත්‍රයට දැන ගන්න ලැබුනෙ.උමඟ දිගේ ටිකක් ගිහින් බලන්න හිතේ ඇතිවුන ආශාව බදුලුපුත්‍රයට අතාරින්න සිද්දවුනේ තනියම බෝගොඩ බලන්න ආපු නිසා (පුංචි බයක් ඇතිවුනා කිවුවොත් ඇත්තටම හරි)

බෝගොඩට යන්න තියෙන මාර්ගයත් බොහොම ලස්සන එකක්. තැන් කීපයකම පාර ලඟම දියපාරවල් දකින්න පුළුවන්.
බෝගොඩ බලන්න යනවනම් ඒ දියපාරක් ලඟ නැවතිල සිසිල විඳල යන්න අමතක කරන්න එපා.

Saturday, February 26, 2011

ගස් ගල් පවා හඳුනාගත් බුදුගුණ ගැන තවත් උදාහරනයක්-දෝව රජ මහා විහාරය

බදුල්ල-බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ ගමන් කරද්දි හමුවන තවත් බොහොම වැදගත් ස්ථානයක් තමයි දෝව රජ මහා විහාරය. බණ්ඩාරවෙල ඉඳන් කිලොමීටර 6ක විතර දුරක් බදුල්ල පැත්තට ආවම දෝව විහාරයට ලඟාවෙන්න පුලුවන්. කුඹල්වෙල ප්‍රදේෂයෙ පිහිටල තියෙන මේ විහාරය වළගම්බා රජු විසින් ඉදිකරපු බවට සැලකෙනවා. වළගම්බා රජතුමාගේ කාලයේ දී සිදුවූ ඉංදීය ආක්‍රමනය නිසා රජතුමා පළායද්දී සැඟවී ඉන්න තෝරාගත් ස්ථානයක් තමයි ඔය දෝව විහාරය ආශ්‍රිත ප්‍රදේෂය.වළගම්බා රජතුමා විහාරයේ වැඩ ආරම්භ කලත් එය නිමා කරන්නට බැරිවෙලා තියෙනව. මොකද තමන්ව අල්ල ගන්න ආක්‍රමනිකයන් එන බව දැනගන්නට ලැබිල එතැනින් හදිසියෙම පළායන්න සිදුවන නිසා. නුවර යුගයේ දී තමයි විහාරයේ වැඩ නිමා කරල තියෙන්නේ.



රජතුමා පළායාම සඳහා රහස් උමඟක් පාවිච්චි කල බවයි සඳහන් වන්නේ. මේ උමඟ රාවණ මහ විහාරයටත්, බෝගොඩ රජමහ විහාරයටත් සම්බන්ධ වෙනවා. ඔය උමඟ රාවණ ගුහාව විදිහටත් සැලකෙනවා. උමඟට ආසන්නයේම මැටි වලින් හදපු නාගරූපයක් දකින්න පුළුවන්. උමඟ ආරක්ෂාව සඳහා මෙම රූපය තිබෙන බවයි බදුලු පුත්‍රයට දැනගන්න ලැබුනෙ. කොහොමවුනත් නිදන් හොරුන්ගෙන් සිදුවන විනාශයන් නිසා මේ උමඟ අද වන විට වසා දමල තියෙනව.

කලුගල් කුලකට යටින් පිහිටන විදිහට තමයි බුදුමැදුර ඉදි කරල තියෙන්නෙ. බුදුමැදුරට ඇතුල්වෙද්දි රාක්ෂ රූප දෙකක් දක්නට ලැබෙනව. එක රූපයක් ඇතෙක් කටින් ගෙන සිටිනව ඒක කුවේර විදිහටත්, ගොනෙක් කටින් අරන් ඉන්න අනිත් රූපය වටුක විදිහටත් හඳුන්වනව. මේ රාක්ෂයෙන් බුදුමැදුර මුරකරන බවටයි සැලකෙන්නේ.බුදු මැදුර නුවර යුගයට අයත් බිතු සිතුවම් වලින් සමන්විත වෙනවා.

මේ රූප අතර ඇත් ගොන් සටන විදිහට හඳුන්වන බොහොම දුර්ලභ චිත්‍රයක් දකින්නට පුළුවන්.(වෙනත් විහාරයක මේ රූපය දකින්න තියෙනවද කියන එකනම් බදුලු පුත්‍රයත් හරියටම දන්නෙ නෑ). නාග රූප භාවිතය විහාරයේ තැන් කීපයකම දකින්නට පුළුවන්. බුදු හිමියන්ට පැන් පූජා කරන භාජනය පවා නාග අනුරුවක් විදිහටයි සකසල තියෙන්නෙ.

විහාරයට ඇතුල් වෙද්දි පසෙකින් සිටිපිළිමයක් දකින්නට ලැබෙනව. කලුගල් වලින් කරල තියෙන මේ පිළිමය වළගම්බා රජතුමා විසින් තමයි නිම කරල තියෙන්නේ. පිළිමයේ වැඩවත් හරි විදිහට නිමා වෙන්න කලින් රජතුමාට පැනයන්නට සිදුවී තිබෙනව. ඉතින් අදටත් මේ අඩ්ක් නිම වෙච්ච පිළිමය දැක ගන්න පුළුවන්. පිළිමයත් එක්කම දකුණු පැත්තෙන් විශාල සපු ගහක් දක්නට ලැබෙනවා. මේ සපු ගහේ කිසිම අත්තක් බුදු පිළිමයට බාධා වන විදිහට වැවිල නෑ. සියළුම අතු වැවිල තියෙන්නෙ බුදු පිළිමයෙන් අනෙක් පසට වෙන්නට හෝ බුදු පිළිමයෙන් ඉහලට වන්නට. මේ ගස පවා බුදු හිමියන්ගේ අනන්ත බුදු ගුණ බලය හඳුනනව කියලයි දැක්කම හිතෙන්නේ.

දෝව විහාරය මේ විදිහට ගස් ගල් පවා බුදු ගුණ හඳුනා ගත් තැන්වලට එක උදාහරනයක් විතරයි. කොහොම උනත් ගස් ගල් පවා හඳුනා ගත්ත බුදුගුණ සමහර මිනිස්සුන්ට හඳුනා ගන්න බැරි ඇයිද කියන එක නම් බදුල පුත්‍රයටත් ප්‍රෂ්ණයක්..........

Monday, December 20, 2010

තවත් ඓතිහාසික කථාවක් ලඟදීම...............

කාලෙකින් බදුලු පුත්‍රයට බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න බැරුව ගියා මොකද පහුගිය කාලෙම වැඩ ගොඩකට හිරවෙලා හිටිය නිසා. ඒත් වැඩවලින් පොඩි අස්වැසිල්ලක් ලැබිච්ච ගමන් පෝස්ට් එකක් දාන්න අමතක කරල නෑ. කොහොමත් සිංහල බ්ලොග් එකක් කරන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි කියල හැමෝටම තේරෙනව ඇතිනෙ. ඒත් අපි හිතුවොත් මේ හැම දෙයක්ම කරන්නෙ අනිත් වැඩ වලින් විවේකයක් ගන්න කියල ඒක ඒ තරම් අමාරු දෙයකුත් නෙමෙයි. කොහොම උනත් බදුලු පුත්‍රය අද මේ පෝස්ට් එක දාන්න හිතුවේ ඉදිරි සතිය හෝ දෙක ඇතුලත තවත් පෞරානික ඓතිහාසික කතාවක් මේ බ්ලොග් එකේ පළවෙන බව දැනුම් දෙන්නයි. ඉතින් ඔයල හැමෝටම ආරාධනා කරනවා දිගටම බදුලු පුත්‍රය එක්ක රැඳී ඉන්න කියල.

Saturday, October 23, 2010

වෙල්ලස්සේ විමුක්ති හටන..............

1818 ඌව වෙල්ලස්ස කැරැල්ල ගැන ලිපියක් ලියන්න බදුලු පුත්‍රයට අදහසක් පහලවුනා. ඔය කැරැල්ල සිද්ධ වුනේ බදුලු පුත්‍රය ඉපදුනු ප්‍රදේෂය හා සම්බන්ධව වීමත් ඉතිහාසයට වීරයන් එක්කරපු සිද්ධියක් වීමත් තමයි මෙහෙම ලිපියක් බ්ලොග් එකේ දාන්න ප්‍රධාන වශයෙන් හේතුවුනෙ. අපි කවුරුත් දන්න විදිහට 1815 උඩරට ගිවිසුමෙන් පස්සෙ තමයි උඩරටත් ඉංග්‍රීසීන් අතට පත්වුනෙ. කොහොම උනත් ඔය ගිවිසුම අත්සන් කරන්න ප්‍රධාන වශයෙන් හේතුවුනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කෲර පාලනය ජනතාවට උහුලාගන්න බැරිවීම. ඉතින් 1815 මාර්තු 2 දා මහනුවර මඟුල් මඩුවෙදි උඩරට ගිවිසුම අත්සන්කලා.

ඔය ගිවිසුමට අත්සන් කරපු අය අතරෙ මොණරවිල කැප්පෙටිපොල නිලමෙතුමත් හිටිය. ගිවිසුම සිංහලෙන් අත්සන් කරපු තුන් දෙනාගෙන් එක් අයෙක් තමයි කැප්පෙටිපොල නිලමෙතුමා. මේ කාරණාවෙන් ගිවිසුම අත්සන් කලත් ඉංග්‍රීසින් මේ රට පාලනය කරනවට ඇති අකමැත්ත පෙන්නුම් කලා කියලත් සඳහන් වෙනවා. කොහොම උනත් ගිවිසුම අත්සන් කරල වැඩි කාලයක් යන්න කලින්ම ඉංග්‍රීසින් විසින් ඒකෙ තිබුනු පොරොන්දු කඩකරන්න පටන්ගත්තා. රාජසිංහ රජු නෙරපා හැරීමෙන් පස්සෙ රජකමට ඇහැලෙපොල මහනිලමෙ තුමාව පත් කරන්න තීරණය කරගෙන තිබුනත් ඒක ඉටුනොවීම මේ අතරින් කැපී පෙනෙනවා. ඊට අමතරව ගිවිසුමේ විදිහට බුදු දහමට, සංඝයා වහන්සේලාට, උඩරට ප්‍රභූන්ට ගරු නොකිරීම වගෙ දේවල් ජනතාවතුල මහත් කෝපයක් ඇති කිරීමට හේතු වුනා. ජනතාවට අවශ්‍ය වුනේ සිංහල රාජකීය ලේ වලින් පැවත එන රජකෙනෙක් මිසක් තමන් නොදන්න වෙනත් රටක ජීවත් වෙන රජකෙනෙක් නෙමෙයි.
කොහොම උනත් කැරැල්ලක් පටන් ගන්නට සැරසෙනව කියන එක කාරණා 2ක් නිසා ඉංග්‍රීසින්ට දැනුනා. පළවෙනි එක තමයි මඩුගල්ලෙ උඩගබඩා නිලමෙ හොර රහසෙම ශ්‍රී දන්තධාතුන් වහන්සේව මහනුවරින් ඉවත් කරන්න යෝජනා කරල තියෙනව ප්‍රධාන සංඝයා වහන්සේලාට. දෙවැනි කාරණාව තමයි නිලමෙතුමා පුද පඬුරු යවල තියෙනව බිංතැන්නෙ සහ කතරගම දෙවියන්ට ඉංග්‍රීසි පාලනය විනාශ කරල නැවත රජතුමෙක් පාලනයට ගෙන එන්න ආශිර්වාද ඉල්ලලා. ඔන්න ඔය කාරණා 2න් පස්සෙ ඉංග්‍රීසින් උඩගබඩා නිලමෙතුමාට දඬුවම් පමුනුවල තියෙනව රාජ්‍ය ද්‍රෝහිත්වයට.
කැරැල්ලක් ඇතිවෙන්න තවත් ප්‍රධානම හේතුවක් වෙලාතියෙන්නෙ හජ්ජි මුහන්දිරම් කියන මුස්ලිම් ජාතිකයෙක් උඩරට ප්‍රධාන තනතුරකට පත්කිරීම. ඔන්න ඔය කාරණාවලින් පස්සෙ විල්භාවෙ ගේ නායකත්වයෙන් යුතුව කැරැල්ලක් ආරම්භවුනා. කැරැල්ල ගැන සොයා බලන්න මුලින්ම ඉංග්‍රීසින් විසින් හජ්ජි මුහන්දිරම්ව පිටත් කලා ඒත් බූටෑවේ රටේ රාල විසින් මුහන්දිරම්ව මරා දමන්න සමත් උනා. ඉන් පස්සෙ බදුල්ලෙ හිටපු රජයේ නිලධාරියෙක්වුන සිල්වෙස්ටර් විල්සන් විශාල සේනාවක් එක්ක කැරැල්ල ගැන පරීක්ෂණයක් කරන්න ගියත් ඔහුටත් සිදුවුනෙ සිංහල හේවායෙක්ගෙ හී පහරකින් මරනයට පත් වෙන්න.
ඔතනින් පස්සෙ තමයි ඉංග්‍රිසීන් විසින් කැරැල්ල මැඩලන්න කැප්පෙටිපොල නිලමෙතුමාව එවන්නෙ (කැප්පෙටිපොල නිලමෙතුමා ගැනත් මේ ලිපියෙම ලියන්න බදුලු පුත්‍රය හිතාගෙන හිටියත් ලිපිය දිග වැඩිවෙන නිසා ඒක ඊලඟ ලිපියට කල්දැම්මා). කැප්පෙටිපොල නිලමෙතුමාගේ රට ජාතිය කෙරෙහි තිබුනු ඇල්ම නිසා සියලුම අවි ආයුධත් ඉංග්‍රීසි සේනාවත් ආපහු හරවල යවල කැරලිකරුවන් එක්ක එකතුවුනා එතුමාගෙ එකතු වීමත් එක්කම කැරැල්ලට නව පණක් ලැබුනා. උඩරට සියලුම ප්‍රභූන් සමඟ එතුමාගේ තිබුනු සමීප ඇසුර නිසා විශාල වශයෙන් ප්‍රභූ පිරිස් කැරැල්ලට එකතු වුනා. නමුත් ඔය අතරෙ තවමත් ඉංග්‍රිසීන් පැත්තට හිටපු සිංහල ප්‍රධානීනුත් හිටියා මොල්ලිගොඩ, එක්නැලිගොඩ වගේ අය. කැප්පෙටිපොල කැරලිකරුවන් එක්ක එකතුවීමත් එක්කම ඉංග්‍රිසීනුත් කලබලයට පත්වුනා.රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා වහාම මාෂල් ලෝ එකක් පනවල විල්බාවේ අල්ලල දෙන අයකුට රික්ස් ඩොලර් 2000කුත් අනෙක් ඕනෑම කැරැල්ලට සම්බන්ධ ප්‍රධානියෙක් අල්ලල දෙන කෙනෙකුට රික්ස් ඩොලර් 500කුත් ලබාදෙන්න තීරණය කරල තියෙනව. ඒත් එක්කම කැප්පෙටිපොල නිලමෙතුමා ඇතුලු 17දෙනෙක් රාජ්‍යද්‍රෝහින් විදිහට නිවේදනයක් නිකුත් කරල ඔවුන් සතු සියලු දේපල රාජසන්තක කරන්න නියම කරල තියෙනව.නමුත් කැප්පෙටිපොල නිලමෙතුමාගෙ වලව්ව ඉංග්‍රිසීන්ගෙන් බේරගන්න හැකිවෙලා තියෙනව. කැරැල්ලට සම්බන්ධ නොවුනු ජනතාව ඉන්න ප්‍රදේෂ වලට ඉංග්‍රිසීන් විසින් පනවල තිබුනු බදු අඩුකරන්න පියවර අරන් තියෙනවා. ඒ එම ජනතාවට තමන්ගෙ හිතවත් බව පෙන්නන්න. කොහොමවුනත් සිංහල වීරයන් සතුව තිබුනු ගරිල්ලා සටන්වල දක්ෂකම නිසා ඉංග්‍රිසීන්ට කැරැල්ල මඩලන එක දුෂ්කර කාර්යක් වුනා. ඉතින් ඕකට පළිගැනීමක් විදිහට වෙල්ලස්ස, ඌව වගේ ප්‍රදේෂවල ගම්මාන වලට ගිනිතියමින්, වැව් කඩාබිඳ දමමින් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරන්න ඔවුන් පියවර ගත්ත. ඈත අතීතයේ සහල් නිෂ්පාදනයෙ පෙරමුන ගත්ත වෙල්ලස්ස (වෙල්ලස්ස කියන්නෙත් වෙල් ලක්ෂයක් පමණ තිබෙනෙ තරම් සහල් නිෂ්පාදනය කරන්නට පුලුවන් වීම නිසා) ඉංග්‍රිසීන් කරපු මේ විනාශයෙන් පස්සෙ අදවනවිටත් දුක් විඳිනව.
ඉංග්‍රිසීන් කැරැල්ල මැඩලන්න ඉංදියාවෙනුත් සේනාවක් ගෙන්වල තියෙනව. කැරලිකරුවන් අතර මනා සංවිධානයක් නැතිවීමත්, ආහාර හා අනෙකුත් ආම්පන්න ලබාගැනීමට තිබූ දුෂ්කරත්වයත් නිසා කැරැල්ල ක්‍රමයෙන් දුර්වල වන්නටවුනා. සමහර කැරලි නායකයන් ඉංග්‍රිසීන්ට භාරවීමත් කැප්පෙටිපොල වැනි අය අත් අඩංගුවට ගෙන හිසගසා දැමීමත් සමඟම සිංහලයන්ගේ විමුක්ති හටනක අවසානය සටහන් වුනා.
කැරැල්ලෙන් පසුව බදුල්ල දිස්ත්‍රික්කයේ රජයේ ඒජන්ත වරයෙක් වශයෙන් පත්වුනු හර්බට් වයිට් විසින් ලියූ වාර්තාවක මෙලෙස සඳහන් වෙනවා. "කැරැල්ලට පෙර ඌව ප්‍රදෙෂයේ ජනගහනය සහ කෘෂිකාර්මික දියුනුව සම්බන්ධව ස්ථිර නිගමනයකට ඒමට නව පාලකයන්ට අපහසු වී තිබෙනව මන්ද කිසිම සාධකයක් ඉතිරි නොවෙන මට්ටමට සියල්ල විනාශ වී ඇතිනිසා. යුද්ධයේදී දහස්ගණන් සිංහලයින් මියගියත් ඔවුන් සියල්ලන්ම නිර්භවය සහ ශ්‍රේෂ්ඨ සටන්කරුවන් ලෙස මියගියා. කැරැල්ල පැවති ප්‍රදේෂයේ ඉතිරි වූ ජනගහනයෙන් වැඩි පිරිසක් කාන්තාවන්, ළමයින් සහ වයස්ගත වූවන්. මෙයින් ප්‍රදේෂයට සිදුවූ විනාශය ගැණිය නොහැකියි."

Saturday, September 18, 2010

සැබෑම දුෂ්ඨයා රාමා ද? රාවණ ද?

මෙහෙම ලිපියක් බ්ලොග් එකට ලියන්න බදුලුපුත්‍රයට මුලින්ම අදහසක් ආවේ පහුගිය දවසක ජැක්සන් ඇන්තනි මහත්මයා ගුවන් විදුලියට ඇවිත් කරපු වැඩ සටහනක් ඇහුවට පස්සෙ. ඔය රාමායනය හා බැඳුනු සිද්දි ගොඩක් බදුල්ල හා ඒ අවට ප්‍රදේශය හා සම්බන්ධ නිසත් ඉතිහාසයේ සිදුවෙච්ච වැදගත් සිදුවීමක් නිසත් මේක ගැන ටිකක් දැන ගන්න එක අපි කාටත් ප්‍රයෝජනවත්

වාල්මිකී විසින් වීර කාව්‍යයක් විදිහට ලියල තියෙන රාමායනය ගැන අමුතුවෙන් දෙයක් කියන්න ඕනෙ නැති තරමට අපි කවුරු අතරත් ජනප්‍රියයි. රාමායනය ලියද්දි සම්පූර්ණයෙන්ම රාමා වෙත වීරත්වය ආරෝපනය කරල රාවණ සීතාව පැහැරගත් දුෂ්ඨ කෙනෙක් විදියට ඉස්මතු කරන්නයි ලියල තියෙන්නෙ. කොහොම උනත් ලංකාවෙ අදටත් රාවණව දෙවි කෙනෙක් විදිහට අදහන පිරිසක් ඉන්නව. ඒ කියන්නෙ රාවණ සඳහාත් යම් වීරත්වයක් සාදාරණත්වයක් තිබිය යුතුයි. මේ ගැන කථා කරද්දි රාම-සීතා කථාවත් ටිකක් හරි කියන්න වෙනව.
රාමායනේ වගේ රාමාගෙන් නැතුව අපි කථාව රාවණගෙන් පටන් ගමු. අවුරුදු ගණනාවක තපසකින් පස්සෙ බ්‍රහ්මගෙන් වරයක් ලබාගන්නට රාවණට හැකිවෙනව ඒ තමයි කිසිම දෙවි කෙනෙකුට, රාක්ෂයෙකුට හෝ වෙනත් ඒවැනි බලවේගයකට තමාට හානි කිරීමට බැරිවෙන වරයක්. රාවණ සතුව අති මහත් දැනුමක් සහ ශක්තියක් තිබිල තියෙනව ඉතින් තමාට මිනිසෙකුගෙන් හෝ සතෙකුගෙන් හානියක් නොවෙන බවට විශ්වාස කල නිසයි වරයට මිනිසුන්ගෙන්, සතුන්ගෙන් තමන්ව ආරක්ෂා කරන්න නොඉල්ලුවෙ.ලංකාවේ පාලනය පසුකාලීනව තමන් යටතට ගත් රාවණ ඉතාමත් දක්ෂ අන්දමින් පාලනය ගෙන ගොස් තිබෙනවා. එම කාලයේ දුප්පත්ම යැයි සැලකෙන නිවෙස් වල පවා රන් බඳුන් තිබූ බවටත් බඩගින්න යන්න නොහඳුනන පිරිසක් විසූ රාජධානියක් ලෙසත් ලංකාව ප්‍රසිද්ද වෙලා තියෙනවා. වෙදකමට, නව නිපෙයුම් වලට, පොත් පත් රචනයට, වීණා වාදනයට රාවණ ඉතා විශිෂ්ඨයෙක්. රාවණගේ බිසව ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මන්දෝදරි කියල කුමාරිකාවක්. ඇයත් බොහොම රූමත් කෙනෙක්. සීතාව සමඟ උනත් සසඳන්න පුලුවන් රූමත් කමක් ඇයට තිබිල තියෙනව කියලයි සඳහන් වෙන්නෙ.
රාවණව පැරදවීමට ඔහුගේ වරය නිසා දෙවි කෙනකුට නොහැකිවීම නිසා විෂ්ණු දෙවියන් සත්වෙනි වරට රාමා ලෙස පහල වූ ලෙසයි ප්‍රචලිතව පවතින්නෙ.රාමායනයේ ප්‍රධාන වීර චරිතය වන රාමාට තමන්ගේ බිසව වූ සීතා දේවිය සහ සහෝදරයා වූ ලක්ෂ්මන සමඟ රජ මාලිගයේ යම් යම් හේතු නිසා වනගත වීමට සිදුවෙනවා. වනයේ තවුසන් ලෙසින් මොවුන් ජීවත් වන අතර තමයි රාවණගේ සොහොයුරිය වන සුපර්නිකාව දකින්නේ. මේ අවස්ථාව විවිධ අයුරින් විවිධ තැන් වල සඳහන් කරල තියෙනව.තවුසන් ලෙසින් සිටියත් දුනු හී දරාගෙන රාක්ෂයන්ට අය්ත් පෙදෙසක වෙසෙන්නෙ ඇයිද කියල සුපර්නිකා ලක්ෂ්මනගෙන් අහල තියෙනවා එයින් කෝපයට පත්වන ලක්ෂ්මන සුපර්නිකාගේ නාසය සහ දෙසවන් කපා දමනවා. අන්න ඔය සිද්දියෙන් ඇතිවුන කෝපය නිසා තමයි රාවණ සීතාව පැහැරගෙන එන්නෙ.
රාවණගේ සහෝදරයෙකු වූ විභීෂණගේ සහයත් ඇතිව රාමාට රාවණව පරාජය කිරීමට හැකිවෙනවා. යම් ලෙසකින් විභීෂණගේ සහය නොමැති වුනා නම් කිසිම දිනක රාමාට රාවණ පරාජය කිරීමට නොහැකි වීමට බොහෝදුරට ඉඩ තිබුනා. ඉන්පසුව රාමාට තම සීතාව කෙරෙහි ඇතිවූ සැකය නිසා ඇයට අග්නි පරික්ෂාවකට ලක්වෙන්න සිදු වෙනවා. එවැනි පරීක්ෂාවකින් පසුව උනත් රාජධානියේ ඇතිවුන කටකථා නිසා රාමා විසින් සීතාව වනයට පිටුවහල් කර දමනවා. එයින් පසුව වාල්මිකි විසින් ඇයට සෙවන ලබාදුන් බවයි සඳහන් වෙන්නෙ.

පසුගිය දිනවල ජනප්‍රියත්වයට පත්වුනු මනිරත්නම්ගේ රාවන් ච්ත්‍රපටයෙන් රාම රාවණ කතා පුවත මැනවින් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.රාවණ සීතාව පැහැර ගැනීම සැබවින්ම වැරදිද? ඔහුගේ සොහොයුරියට සිදුවූ දෙය හා සැසඳීමේදී එය තරමක් සාධාරනීකරණය වුනත් ශිෂ්ටසම්පන්න සමාජයකට එය නොගැලපෙන ක්‍රියාවක්. එසේ නම් රාමා සීතාව පලවා හැරීම, ලක්ෂ්මන සුපර්නිකාට සිදුකල ක්‍රියාව නිවැරදිද? විශේෂයෙන් රාමා සීතාට සැබවින්ම ආදරය කලානම් ඇය කෙරෙහි සැකයක් ඇතිවීම සාධාරණද? අග්නි පරීක්ෂාවකට පවා ලක් වූ සීතාව වනයට පලවාහැරීම නිවැරදිද?
ලංකාවේම සිට තමන්ගේම සහෝදරයාට එරෙහිව යුධ වැදුනු විභීෂණ කල ක්‍රියාව සාධාරණද? එහෙත් ශිෂ්ඨසම්පන්න සමාජයක පැවැත්ම සඳහා ඔහු කල ක්‍රියාව නිවැරදි යැයි සැලකිය හැකියි. කොහොම උනත් රාමා සීතා කථා පුවතේ සිටින එකම දුෂ්ඨයා රාවණා පමනක්ද යන්න ගැටලුවක්. මොකද රාමා, ලක්ෂ්මන, විභීෂණ වැන්නවුන්ගේ ක්‍රියාවන්ද ඇතැම් විටක වැරදි ලෙස පෙනෙන්නට පුලුවන් නිසා.

Wednesday, August 25, 2010

ප්‍රේමකථා අතර අප්‍රකට පෙම් කථාවක් රැගත් දුංහිඳ



බදුලු පුත්‍රයා ආරම්භයේදිම කිවුවනෙ බදුල්ලෙ වැදගත් තැන් ගැන කරුණු කියනව කියල. මුලින්ම කියන්න යන්නෙ බදුල්ලෙ තියන ගොඩක් සුන්දර ස්ථානයක් ගැන ඒ තමයි දුංහිඳ දියඇල්ල. බදුලු ඔයෙන් නිර්මානය වන මේ සුන්දර දිය ඇල්ලට දුංහිඳ කියන්නෙත් විශේෂිත හේතුවක් නිසා. බදුලු ඔය දුංහිඳ කඳු මුදුනෙ ඉදන් පහලට වැටෙද්දි වතුර වළාකුලු ස්වභාවයක් ගන්නවා ඉතින් මෙන්න මේවට දුම් කියල කියපු නිසා දිය ඇල්ල දුංහිඳ වුනා කියලයි විශ්වාස කරන්නෙ.
දුංහිඳ ඇල්ලට යන්න නම් 5Kmක් විතර බදුල්ල town එකේ ඉඳන් නුවර පාරෙ යන්න ඕනෙ. 1Km ක විතර පයින් යන්න ගමනකුත් තියෙනව ඒ ගමනත් බොහොම සුන්දර එකක්. ඒ ගමනේදී තව පොඩි දියඇල්ලක් දකින්න පුලුවන් ඒකට කියන්නෙ පුංචි දුංහිඳ කියල.

මෙන්න මේ සුන්දර දුංහිඳ දියඇල්ලත් එක්ක බැඳී පවතිනව විවිධ ජනශ්‍රැති. ඒ අතර ප්‍රේම කතා එහෙමත් තියෙනව. ඔය ගම්පොළ රාජධානිය පැවති කාලයේ රාජ කුමාරිකාවක් ඉඳල තියෙනව මාම්පිටිය අනුහස් මැණික් බණ්ඩාර කියල ඔය කුමාරිකාව කහපෙතිය ආරච්චිබණ්ඩාර කියන සාමාන්‍ය වැසියෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වල තියෙනව. මේකට රජතුමා තදින්ම විරුද්ද වුනු නිසා කුමාරිකාව මාළිගාවෙන් පැනල යනව එයාගෙ පෙම්වතා එක්ක.ඉතින් ඔහොම පැනල යද්දි ඒ දෙන්න ඇවිත් තියෙනව කොස්ගොල්ල කියන පැත්තට. ඔය ප්‍රදේෂයෙ විශාල වශයෙන් ගල් වලින් තමයි නිර්මානය වෙලා තියෙන්නෙ. ඉතින් මෙහෙම තිබ්බ විශාල ගල් පර්වතයක් උඩට මේ දෙන්න අමාරුවෙන් ගොඩවෙල කවදාවත් වෙන් නොවෙන්න දිවුරුම් දීල තියෙනව. එහෙම කරල ඒ දෙන්න මේ ගල් පර්වතයෙන් පහලට පැනල සියදිවි නසාගෙන තියෙනව. එදාම රෑ මහා කුණාටුවක් ඇවිත් ඔය පළාතම ගසාගෙන ගිහින් තියෙනවා.එදා ඔය මහා කුණාටුවත් එක්ක මැණික් බණ්ඩාර කුමරිය හඬන ශබ්දය ඇසුන කියලයි ගම්මු කියන්නෙ. අදටත් දුංහිඳ ඇල්ල පිසගෙන හමාගෙන එන තද සුළඟ සැඩ වුනාම කුමරිය හඬන ශබ්දයලු ඇහෙන්නෙ.

ප්‍රේමකථා විතරක් නෙමෙයි දුංහිඳ එක්ක තව බොහොම අපූරු කථාවක් බැඳී තියෙනව. කුමාරසිංහ කියන ඌවෙ හිටපු කුමාරයෙකුට අදාල නිදානයක් දුංහිඳ කොහෙ හෝ සඟවා තියෙනව කියල විශ්වාසයක් තියෙනව. ඒ වගෙම තමයි රත්තරන් තෝඩු තියෙන මාලුවෙක් මේ නිදානය ආරක්ෂා කරමින් ඉන්නවලු. ඔය මාලුව අවුරුද්දකට සැරයක් උඩට මතුවෙනව කියලත් කියනව. කොහොම වුනත් ඔය නිදානය ආරක්ෂා කරන දුංහිඳ, අවුරුද්දකට සැරයක් මිනිස් බිල්ලක් ගන්නවලු.
ඉතින් දුංහිඳ බලන්න යන ඔයාලා මේ කතා අහල නිදානය හරි අර මාලුවව හරි හොයන්න වතුරට නම් බහින්න එපා කියලයි බදුලු පුත්‍රයට කියන්න තියෙන්නෙ. මොකද කොහොමත් දුංහිඳ වතුර වැටෙන තැන ඉතාමත් ගැඹුරුයි.ඒකනිසා එතන නාන්න කරන්න යන්න නම් එපා. ඒත් එක්කම මැණික් බණ්ඩාර කුමරිය හඬන ශබ්දය ඔයාලටත් ඇහෙනවද කියල බලන්න අමතක කරන්න එපා..........