Pages

 

Saturday, September 18, 2010

සැබෑම දුෂ්ඨයා රාමා ද? රාවණ ද?

මෙහෙම ලිපියක් බ්ලොග් එකට ලියන්න බදුලුපුත්‍රයට මුලින්ම අදහසක් ආවේ පහුගිය දවසක ජැක්සන් ඇන්තනි මහත්මයා ගුවන් විදුලියට ඇවිත් කරපු වැඩ සටහනක් ඇහුවට පස්සෙ. ඔය රාමායනය හා බැඳුනු සිද්දි ගොඩක් බදුල්ල හා ඒ අවට ප්‍රදේශය හා සම්බන්ධ නිසත් ඉතිහාසයේ සිදුවෙච්ච වැදගත් සිදුවීමක් නිසත් මේක ගැන ටිකක් දැන ගන්න එක අපි කාටත් ප්‍රයෝජනවත්

වාල්මිකී විසින් වීර කාව්‍යයක් විදිහට ලියල තියෙන රාමායනය ගැන අමුතුවෙන් දෙයක් කියන්න ඕනෙ නැති තරමට අපි කවුරු අතරත් ජනප්‍රියයි. රාමායනය ලියද්දි සම්පූර්ණයෙන්ම රාමා වෙත වීරත්වය ආරෝපනය කරල රාවණ සීතාව පැහැරගත් දුෂ්ඨ කෙනෙක් විදියට ඉස්මතු කරන්නයි ලියල තියෙන්නෙ. කොහොම උනත් ලංකාවෙ අදටත් රාවණව දෙවි කෙනෙක් විදිහට අදහන පිරිසක් ඉන්නව. ඒ කියන්නෙ රාවණ සඳහාත් යම් වීරත්වයක් සාදාරණත්වයක් තිබිය යුතුයි. මේ ගැන කථා කරද්දි රාම-සීතා කථාවත් ටිකක් හරි කියන්න වෙනව.
රාමායනේ වගේ රාමාගෙන් නැතුව අපි කථාව රාවණගෙන් පටන් ගමු. අවුරුදු ගණනාවක තපසකින් පස්සෙ බ්‍රහ්මගෙන් වරයක් ලබාගන්නට රාවණට හැකිවෙනව ඒ තමයි කිසිම දෙවි කෙනෙකුට, රාක්ෂයෙකුට හෝ වෙනත් ඒවැනි බලවේගයකට තමාට හානි කිරීමට බැරිවෙන වරයක්. රාවණ සතුව අති මහත් දැනුමක් සහ ශක්තියක් තිබිල තියෙනව ඉතින් තමාට මිනිසෙකුගෙන් හෝ සතෙකුගෙන් හානියක් නොවෙන බවට විශ්වාස කල නිසයි වරයට මිනිසුන්ගෙන්, සතුන්ගෙන් තමන්ව ආරක්ෂා කරන්න නොඉල්ලුවෙ.ලංකාවේ පාලනය පසුකාලීනව තමන් යටතට ගත් රාවණ ඉතාමත් දක්ෂ අන්දමින් පාලනය ගෙන ගොස් තිබෙනවා. එම කාලයේ දුප්පත්ම යැයි සැලකෙන නිවෙස් වල පවා රන් බඳුන් තිබූ බවටත් බඩගින්න යන්න නොහඳුනන පිරිසක් විසූ රාජධානියක් ලෙසත් ලංකාව ප්‍රසිද්ද වෙලා තියෙනවා. වෙදකමට, නව නිපෙයුම් වලට, පොත් පත් රචනයට, වීණා වාදනයට රාවණ ඉතා විශිෂ්ඨයෙක්. රාවණගේ බිසව ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මන්දෝදරි කියල කුමාරිකාවක්. ඇයත් බොහොම රූමත් කෙනෙක්. සීතාව සමඟ උනත් සසඳන්න පුලුවන් රූමත් කමක් ඇයට තිබිල තියෙනව කියලයි සඳහන් වෙන්නෙ.
රාවණව පැරදවීමට ඔහුගේ වරය නිසා දෙවි කෙනකුට නොහැකිවීම නිසා විෂ්ණු දෙවියන් සත්වෙනි වරට රාමා ලෙස පහල වූ ලෙසයි ප්‍රචලිතව පවතින්නෙ.රාමායනයේ ප්‍රධාන වීර චරිතය වන රාමාට තමන්ගේ බිසව වූ සීතා දේවිය සහ සහෝදරයා වූ ලක්ෂ්මන සමඟ රජ මාලිගයේ යම් යම් හේතු නිසා වනගත වීමට සිදුවෙනවා. වනයේ තවුසන් ලෙසින් මොවුන් ජීවත් වන අතර තමයි රාවණගේ සොහොයුරිය වන සුපර්නිකාව දකින්නේ. මේ අවස්ථාව විවිධ අයුරින් විවිධ තැන් වල සඳහන් කරල තියෙනව.තවුසන් ලෙසින් සිටියත් දුනු හී දරාගෙන රාක්ෂයන්ට අය්ත් පෙදෙසක වෙසෙන්නෙ ඇයිද කියල සුපර්නිකා ලක්ෂ්මනගෙන් අහල තියෙනවා එයින් කෝපයට පත්වන ලක්ෂ්මන සුපර්නිකාගේ නාසය සහ දෙසවන් කපා දමනවා. අන්න ඔය සිද්දියෙන් ඇතිවුන කෝපය නිසා තමයි රාවණ සීතාව පැහැරගෙන එන්නෙ.
රාවණගේ සහෝදරයෙකු වූ විභීෂණගේ සහයත් ඇතිව රාමාට රාවණව පරාජය කිරීමට හැකිවෙනවා. යම් ලෙසකින් විභීෂණගේ සහය නොමැති වුනා නම් කිසිම දිනක රාමාට රාවණ පරාජය කිරීමට නොහැකි වීමට බොහෝදුරට ඉඩ තිබුනා. ඉන්පසුව රාමාට තම සීතාව කෙරෙහි ඇතිවූ සැකය නිසා ඇයට අග්නි පරික්ෂාවකට ලක්වෙන්න සිදු වෙනවා. එවැනි පරීක්ෂාවකින් පසුව උනත් රාජධානියේ ඇතිවුන කටකථා නිසා රාමා විසින් සීතාව වනයට පිටුවහල් කර දමනවා. එයින් පසුව වාල්මිකි විසින් ඇයට සෙවන ලබාදුන් බවයි සඳහන් වෙන්නෙ.

පසුගිය දිනවල ජනප්‍රියත්වයට පත්වුනු මනිරත්නම්ගේ රාවන් ච්ත්‍රපටයෙන් රාම රාවණ කතා පුවත මැනවින් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.රාවණ සීතාව පැහැර ගැනීම සැබවින්ම වැරදිද? ඔහුගේ සොහොයුරියට සිදුවූ දෙය හා සැසඳීමේදී එය තරමක් සාධාරනීකරණය වුනත් ශිෂ්ටසම්පන්න සමාජයකට එය නොගැලපෙන ක්‍රියාවක්. එසේ නම් රාමා සීතාව පලවා හැරීම, ලක්ෂ්මන සුපර්නිකාට සිදුකල ක්‍රියාව නිවැරදිද? විශේෂයෙන් රාමා සීතාට සැබවින්ම ආදරය කලානම් ඇය කෙරෙහි සැකයක් ඇතිවීම සාධාරණද? අග්නි පරීක්ෂාවකට පවා ලක් වූ සීතාව වනයට පලවාහැරීම නිවැරදිද?
ලංකාවේම සිට තමන්ගේම සහෝදරයාට එරෙහිව යුධ වැදුනු විභීෂණ කල ක්‍රියාව සාධාරණද? එහෙත් ශිෂ්ඨසම්පන්න සමාජයක පැවැත්ම සඳහා ඔහු කල ක්‍රියාව නිවැරදි යැයි සැලකිය හැකියි. කොහොම උනත් රාමා සීතා කථා පුවතේ සිටින එකම දුෂ්ඨයා රාවණා පමනක්ද යන්න ගැටලුවක්. මොකද රාමා, ලක්ෂ්මන, විභීෂණ වැන්නවුන්ගේ ක්‍රියාවන්ද ඇතැම් විටක වැරදි ලෙස පෙනෙන්නට පුලුවන් නිසා.