Pages

 

Saturday, October 23, 2010

වෙල්ලස්සේ විමුක්ති හටන..............

1818 ඌව වෙල්ලස්ස කැරැල්ල ගැන ලිපියක් ලියන්න බදුලු පුත්‍රයට අදහසක් පහලවුනා. ඔය කැරැල්ල සිද්ධ වුනේ බදුලු පුත්‍රය ඉපදුනු ප්‍රදේෂය හා සම්බන්ධව වීමත් ඉතිහාසයට වීරයන් එක්කරපු සිද්ධියක් වීමත් තමයි මෙහෙම ලිපියක් බ්ලොග් එකේ දාන්න ප්‍රධාන වශයෙන් හේතුවුනෙ. අපි කවුරුත් දන්න විදිහට 1815 උඩරට ගිවිසුමෙන් පස්සෙ තමයි උඩරටත් ඉංග්‍රීසීන් අතට පත්වුනෙ. කොහොම උනත් ඔය ගිවිසුම අත්සන් කරන්න ප්‍රධාන වශයෙන් හේතුවුනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කෲර පාලනය ජනතාවට උහුලාගන්න බැරිවීම. ඉතින් 1815 මාර්තු 2 දා මහනුවර මඟුල් මඩුවෙදි උඩරට ගිවිසුම අත්සන්කලා.

ඔය ගිවිසුමට අත්සන් කරපු අය අතරෙ මොණරවිල කැප්පෙටිපොල නිලමෙතුමත් හිටිය. ගිවිසුම සිංහලෙන් අත්සන් කරපු තුන් දෙනාගෙන් එක් අයෙක් තමයි කැප්පෙටිපොල නිලමෙතුමා. මේ කාරණාවෙන් ගිවිසුම අත්සන් කලත් ඉංග්‍රීසින් මේ රට පාලනය කරනවට ඇති අකමැත්ත පෙන්නුම් කලා කියලත් සඳහන් වෙනවා. කොහොම උනත් ගිවිසුම අත්සන් කරල වැඩි කාලයක් යන්න කලින්ම ඉංග්‍රීසින් විසින් ඒකෙ තිබුනු පොරොන්දු කඩකරන්න පටන්ගත්තා. රාජසිංහ රජු නෙරපා හැරීමෙන් පස්සෙ රජකමට ඇහැලෙපොල මහනිලමෙ තුමාව පත් කරන්න තීරණය කරගෙන තිබුනත් ඒක ඉටුනොවීම මේ අතරින් කැපී පෙනෙනවා. ඊට අමතරව ගිවිසුමේ විදිහට බුදු දහමට, සංඝයා වහන්සේලාට, උඩරට ප්‍රභූන්ට ගරු නොකිරීම වගෙ දේවල් ජනතාවතුල මහත් කෝපයක් ඇති කිරීමට හේතු වුනා. ජනතාවට අවශ්‍ය වුනේ සිංහල රාජකීය ලේ වලින් පැවත එන රජකෙනෙක් මිසක් තමන් නොදන්න වෙනත් රටක ජීවත් වෙන රජකෙනෙක් නෙමෙයි.
කොහොම උනත් කැරැල්ලක් පටන් ගන්නට සැරසෙනව කියන එක කාරණා 2ක් නිසා ඉංග්‍රීසින්ට දැනුනා. පළවෙනි එක තමයි මඩුගල්ලෙ උඩගබඩා නිලමෙ හොර රහසෙම ශ්‍රී දන්තධාතුන් වහන්සේව මහනුවරින් ඉවත් කරන්න යෝජනා කරල තියෙනව ප්‍රධාන සංඝයා වහන්සේලාට. දෙවැනි කාරණාව තමයි නිලමෙතුමා පුද පඬුරු යවල තියෙනව බිංතැන්නෙ සහ කතරගම දෙවියන්ට ඉංග්‍රීසි පාලනය විනාශ කරල නැවත රජතුමෙක් පාලනයට ගෙන එන්න ආශිර්වාද ඉල්ලලා. ඔන්න ඔය කාරණා 2න් පස්සෙ ඉංග්‍රීසින් උඩගබඩා නිලමෙතුමාට දඬුවම් පමුනුවල තියෙනව රාජ්‍ය ද්‍රෝහිත්වයට.
කැරැල්ලක් ඇතිවෙන්න තවත් ප්‍රධානම හේතුවක් වෙලාතියෙන්නෙ හජ්ජි මුහන්දිරම් කියන මුස්ලිම් ජාතිකයෙක් උඩරට ප්‍රධාන තනතුරකට පත්කිරීම. ඔන්න ඔය කාරණාවලින් පස්සෙ විල්භාවෙ ගේ නායකත්වයෙන් යුතුව කැරැල්ලක් ආරම්භවුනා. කැරැල්ල ගැන සොයා බලන්න මුලින්ම ඉංග්‍රීසින් විසින් හජ්ජි මුහන්දිරම්ව පිටත් කලා ඒත් බූටෑවේ රටේ රාල විසින් මුහන්දිරම්ව මරා දමන්න සමත් උනා. ඉන් පස්සෙ බදුල්ලෙ හිටපු රජයේ නිලධාරියෙක්වුන සිල්වෙස්ටර් විල්සන් විශාල සේනාවක් එක්ක කැරැල්ල ගැන පරීක්ෂණයක් කරන්න ගියත් ඔහුටත් සිදුවුනෙ සිංහල හේවායෙක්ගෙ හී පහරකින් මරනයට පත් වෙන්න.
ඔතනින් පස්සෙ තමයි ඉංග්‍රිසීන් විසින් කැරැල්ල මැඩලන්න කැප්පෙටිපොල නිලමෙතුමාව එවන්නෙ (කැප්පෙටිපොල නිලමෙතුමා ගැනත් මේ ලිපියෙම ලියන්න බදුලු පුත්‍රය හිතාගෙන හිටියත් ලිපිය දිග වැඩිවෙන නිසා ඒක ඊලඟ ලිපියට කල්දැම්මා). කැප්පෙටිපොල නිලමෙතුමාගේ රට ජාතිය කෙරෙහි තිබුනු ඇල්ම නිසා සියලුම අවි ආයුධත් ඉංග්‍රීසි සේනාවත් ආපහු හරවල යවල කැරලිකරුවන් එක්ක එකතුවුනා එතුමාගෙ එකතු වීමත් එක්කම කැරැල්ලට නව පණක් ලැබුනා. උඩරට සියලුම ප්‍රභූන් සමඟ එතුමාගේ තිබුනු සමීප ඇසුර නිසා විශාල වශයෙන් ප්‍රභූ පිරිස් කැරැල්ලට එකතු වුනා. නමුත් ඔය අතරෙ තවමත් ඉංග්‍රිසීන් පැත්තට හිටපු සිංහල ප්‍රධානීනුත් හිටියා මොල්ලිගොඩ, එක්නැලිගොඩ වගේ අය. කැප්පෙටිපොල කැරලිකරුවන් එක්ක එකතුවීමත් එක්කම ඉංග්‍රිසීනුත් කලබලයට පත්වුනා.රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා වහාම මාෂල් ලෝ එකක් පනවල විල්බාවේ අල්ලල දෙන අයකුට රික්ස් ඩොලර් 2000කුත් අනෙක් ඕනෑම කැරැල්ලට සම්බන්ධ ප්‍රධානියෙක් අල්ලල දෙන කෙනෙකුට රික්ස් ඩොලර් 500කුත් ලබාදෙන්න තීරණය කරල තියෙනව. ඒත් එක්කම කැප්පෙටිපොල නිලමෙතුමා ඇතුලු 17දෙනෙක් රාජ්‍යද්‍රෝහින් විදිහට නිවේදනයක් නිකුත් කරල ඔවුන් සතු සියලු දේපල රාජසන්තක කරන්න නියම කරල තියෙනව.නමුත් කැප්පෙටිපොල නිලමෙතුමාගෙ වලව්ව ඉංග්‍රිසීන්ගෙන් බේරගන්න හැකිවෙලා තියෙනව. කැරැල්ලට සම්බන්ධ නොවුනු ජනතාව ඉන්න ප්‍රදේෂ වලට ඉංග්‍රිසීන් විසින් පනවල තිබුනු බදු අඩුකරන්න පියවර අරන් තියෙනවා. ඒ එම ජනතාවට තමන්ගෙ හිතවත් බව පෙන්නන්න. කොහොමවුනත් සිංහල වීරයන් සතුව තිබුනු ගරිල්ලා සටන්වල දක්ෂකම නිසා ඉංග්‍රිසීන්ට කැරැල්ල මඩලන එක දුෂ්කර කාර්යක් වුනා. ඉතින් ඕකට පළිගැනීමක් විදිහට වෙල්ලස්ස, ඌව වගේ ප්‍රදේෂවල ගම්මාන වලට ගිනිතියමින්, වැව් කඩාබිඳ දමමින් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරන්න ඔවුන් පියවර ගත්ත. ඈත අතීතයේ සහල් නිෂ්පාදනයෙ පෙරමුන ගත්ත වෙල්ලස්ස (වෙල්ලස්ස කියන්නෙත් වෙල් ලක්ෂයක් පමණ තිබෙනෙ තරම් සහල් නිෂ්පාදනය කරන්නට පුලුවන් වීම නිසා) ඉංග්‍රිසීන් කරපු මේ විනාශයෙන් පස්සෙ අදවනවිටත් දුක් විඳිනව.
ඉංග්‍රිසීන් කැරැල්ල මැඩලන්න ඉංදියාවෙනුත් සේනාවක් ගෙන්වල තියෙනව. කැරලිකරුවන් අතර මනා සංවිධානයක් නැතිවීමත්, ආහාර හා අනෙකුත් ආම්පන්න ලබාගැනීමට තිබූ දුෂ්කරත්වයත් නිසා කැරැල්ල ක්‍රමයෙන් දුර්වල වන්නටවුනා. සමහර කැරලි නායකයන් ඉංග්‍රිසීන්ට භාරවීමත් කැප්පෙටිපොල වැනි අය අත් අඩංගුවට ගෙන හිසගසා දැමීමත් සමඟම සිංහලයන්ගේ විමුක්ති හටනක අවසානය සටහන් වුනා.
කැරැල්ලෙන් පසුව බදුල්ල දිස්ත්‍රික්කයේ රජයේ ඒජන්ත වරයෙක් වශයෙන් පත්වුනු හර්බට් වයිට් විසින් ලියූ වාර්තාවක මෙලෙස සඳහන් වෙනවා. "කැරැල්ලට පෙර ඌව ප්‍රදෙෂයේ ජනගහනය සහ කෘෂිකාර්මික දියුනුව සම්බන්ධව ස්ථිර නිගමනයකට ඒමට නව පාලකයන්ට අපහසු වී තිබෙනව මන්ද කිසිම සාධකයක් ඉතිරි නොවෙන මට්ටමට සියල්ල විනාශ වී ඇතිනිසා. යුද්ධයේදී දහස්ගණන් සිංහලයින් මියගියත් ඔවුන් සියල්ලන්ම නිර්භවය සහ ශ්‍රේෂ්ඨ සටන්කරුවන් ලෙස මියගියා. කැරැල්ල පැවති ප්‍රදේෂයේ ඉතිරි වූ ජනගහනයෙන් වැඩි පිරිසක් කාන්තාවන්, ළමයින් සහ වයස්ගත වූවන්. මෙයින් ප්‍රදේෂයට සිදුවූ විනාශය ගැණිය නොහැකියි."