Pages

 

Saturday, September 18, 2010

සැබෑම දුෂ්ඨයා රාමා ද? රාවණ ද?

මෙහෙම ලිපියක් බ්ලොග් එකට ලියන්න බදුලුපුත්‍රයට මුලින්ම අදහසක් ආවේ පහුගිය දවසක ජැක්සන් ඇන්තනි මහත්මයා ගුවන් විදුලියට ඇවිත් කරපු වැඩ සටහනක් ඇහුවට පස්සෙ. ඔය රාමායනය හා බැඳුනු සිද්දි ගොඩක් බදුල්ල හා ඒ අවට ප්‍රදේශය හා සම්බන්ධ නිසත් ඉතිහාසයේ සිදුවෙච්ච වැදගත් සිදුවීමක් නිසත් මේක ගැන ටිකක් දැන ගන්න එක අපි කාටත් ප්‍රයෝජනවත්

වාල්මිකී විසින් වීර කාව්‍යයක් විදිහට ලියල තියෙන රාමායනය ගැන අමුතුවෙන් දෙයක් කියන්න ඕනෙ නැති තරමට අපි කවුරු අතරත් ජනප්‍රියයි. රාමායනය ලියද්දි සම්පූර්ණයෙන්ම රාමා වෙත වීරත්වය ආරෝපනය කරල රාවණ සීතාව පැහැරගත් දුෂ්ඨ කෙනෙක් විදියට ඉස්මතු කරන්නයි ලියල තියෙන්නෙ. කොහොම උනත් ලංකාවෙ අදටත් රාවණව දෙවි කෙනෙක් විදිහට අදහන පිරිසක් ඉන්නව. ඒ කියන්නෙ රාවණ සඳහාත් යම් වීරත්වයක් සාදාරණත්වයක් තිබිය යුතුයි. මේ ගැන කථා කරද්දි රාම-සීතා කථාවත් ටිකක් හරි කියන්න වෙනව.
රාමායනේ වගේ රාමාගෙන් නැතුව අපි කථාව රාවණගෙන් පටන් ගමු. අවුරුදු ගණනාවක තපසකින් පස්සෙ බ්‍රහ්මගෙන් වරයක් ලබාගන්නට රාවණට හැකිවෙනව ඒ තමයි කිසිම දෙවි කෙනෙකුට, රාක්ෂයෙකුට හෝ වෙනත් ඒවැනි බලවේගයකට තමාට හානි කිරීමට බැරිවෙන වරයක්. රාවණ සතුව අති මහත් දැනුමක් සහ ශක්තියක් තිබිල තියෙනව ඉතින් තමාට මිනිසෙකුගෙන් හෝ සතෙකුගෙන් හානියක් නොවෙන බවට විශ්වාස කල නිසයි වරයට මිනිසුන්ගෙන්, සතුන්ගෙන් තමන්ව ආරක්ෂා කරන්න නොඉල්ලුවෙ.ලංකාවේ පාලනය පසුකාලීනව තමන් යටතට ගත් රාවණ ඉතාමත් දක්ෂ අන්දමින් පාලනය ගෙන ගොස් තිබෙනවා. එම කාලයේ දුප්පත්ම යැයි සැලකෙන නිවෙස් වල පවා රන් බඳුන් තිබූ බවටත් බඩගින්න යන්න නොහඳුනන පිරිසක් විසූ රාජධානියක් ලෙසත් ලංකාව ප්‍රසිද්ද වෙලා තියෙනවා. වෙදකමට, නව නිපෙයුම් වලට, පොත් පත් රචනයට, වීණා වාදනයට රාවණ ඉතා විශිෂ්ඨයෙක්. රාවණගේ බිසව ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මන්දෝදරි කියල කුමාරිකාවක්. ඇයත් බොහොම රූමත් කෙනෙක්. සීතාව සමඟ උනත් සසඳන්න පුලුවන් රූමත් කමක් ඇයට තිබිල තියෙනව කියලයි සඳහන් වෙන්නෙ.
රාවණව පැරදවීමට ඔහුගේ වරය නිසා දෙවි කෙනකුට නොහැකිවීම නිසා විෂ්ණු දෙවියන් සත්වෙනි වරට රාමා ලෙස පහල වූ ලෙසයි ප්‍රචලිතව පවතින්නෙ.රාමායනයේ ප්‍රධාන වීර චරිතය වන රාමාට තමන්ගේ බිසව වූ සීතා දේවිය සහ සහෝදරයා වූ ලක්ෂ්මන සමඟ රජ මාලිගයේ යම් යම් හේතු නිසා වනගත වීමට සිදුවෙනවා. වනයේ තවුසන් ලෙසින් මොවුන් ජීවත් වන අතර තමයි රාවණගේ සොහොයුරිය වන සුපර්නිකාව දකින්නේ. මේ අවස්ථාව විවිධ අයුරින් විවිධ තැන් වල සඳහන් කරල තියෙනව.තවුසන් ලෙසින් සිටියත් දුනු හී දරාගෙන රාක්ෂයන්ට අය්ත් පෙදෙසක වෙසෙන්නෙ ඇයිද කියල සුපර්නිකා ලක්ෂ්මනගෙන් අහල තියෙනවා එයින් කෝපයට පත්වන ලක්ෂ්මන සුපර්නිකාගේ නාසය සහ දෙසවන් කපා දමනවා. අන්න ඔය සිද්දියෙන් ඇතිවුන කෝපය නිසා තමයි රාවණ සීතාව පැහැරගෙන එන්නෙ.
රාවණගේ සහෝදරයෙකු වූ විභීෂණගේ සහයත් ඇතිව රාමාට රාවණව පරාජය කිරීමට හැකිවෙනවා. යම් ලෙසකින් විභීෂණගේ සහය නොමැති වුනා නම් කිසිම දිනක රාමාට රාවණ පරාජය කිරීමට නොහැකි වීමට බොහෝදුරට ඉඩ තිබුනා. ඉන්පසුව රාමාට තම සීතාව කෙරෙහි ඇතිවූ සැකය නිසා ඇයට අග්නි පරික්ෂාවකට ලක්වෙන්න සිදු වෙනවා. එවැනි පරීක්ෂාවකින් පසුව උනත් රාජධානියේ ඇතිවුන කටකථා නිසා රාමා විසින් සීතාව වනයට පිටුවහල් කර දමනවා. එයින් පසුව වාල්මිකි විසින් ඇයට සෙවන ලබාදුන් බවයි සඳහන් වෙන්නෙ.

පසුගිය දිනවල ජනප්‍රියත්වයට පත්වුනු මනිරත්නම්ගේ රාවන් ච්ත්‍රපටයෙන් රාම රාවණ කතා පුවත මැනවින් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.රාවණ සීතාව පැහැර ගැනීම සැබවින්ම වැරදිද? ඔහුගේ සොහොයුරියට සිදුවූ දෙය හා සැසඳීමේදී එය තරමක් සාධාරනීකරණය වුනත් ශිෂ්ටසම්පන්න සමාජයකට එය නොගැලපෙන ක්‍රියාවක්. එසේ නම් රාමා සීතාව පලවා හැරීම, ලක්ෂ්මන සුපර්නිකාට සිදුකල ක්‍රියාව නිවැරදිද? විශේෂයෙන් රාමා සීතාට සැබවින්ම ආදරය කලානම් ඇය කෙරෙහි සැකයක් ඇතිවීම සාධාරණද? අග්නි පරීක්ෂාවකට පවා ලක් වූ සීතාව වනයට පලවාහැරීම නිවැරදිද?
ලංකාවේම සිට තමන්ගේම සහෝදරයාට එරෙහිව යුධ වැදුනු විභීෂණ කල ක්‍රියාව සාධාරණද? එහෙත් ශිෂ්ඨසම්පන්න සමාජයක පැවැත්ම සඳහා ඔහු කල ක්‍රියාව නිවැරදි යැයි සැලකිය හැකියි. කොහොම උනත් රාමා සීතා කථා පුවතේ සිටින එකම දුෂ්ඨයා රාවණා පමනක්ද යන්න ගැටලුවක්. මොකද රාමා, ලක්ෂ්මන, විභීෂණ වැන්නවුන්ගේ ක්‍රියාවන්ද ඇතැම් විටක වැරදි ලෙස පෙනෙන්නට පුලුවන් නිසා.

Wednesday, August 25, 2010

ප්‍රේමකථා අතර අප්‍රකට පෙම් කථාවක් රැගත් දුංහිඳ



බදුලු පුත්‍රයා ආරම්භයේදිම කිවුවනෙ බදුල්ලෙ වැදගත් තැන් ගැන කරුණු කියනව කියල. මුලින්ම කියන්න යන්නෙ බදුල්ලෙ තියන ගොඩක් සුන්දර ස්ථානයක් ගැන ඒ තමයි දුංහිඳ දියඇල්ල. බදුලු ඔයෙන් නිර්මානය වන මේ සුන්දර දිය ඇල්ලට දුංහිඳ කියන්නෙත් විශේෂිත හේතුවක් නිසා. බදුලු ඔය දුංහිඳ කඳු මුදුනෙ ඉදන් පහලට වැටෙද්දි වතුර වළාකුලු ස්වභාවයක් ගන්නවා ඉතින් මෙන්න මේවට දුම් කියල කියපු නිසා දිය ඇල්ල දුංහිඳ වුනා කියලයි විශ්වාස කරන්නෙ.
දුංහිඳ ඇල්ලට යන්න නම් 5Kmක් විතර බදුල්ල town එකේ ඉඳන් නුවර පාරෙ යන්න ඕනෙ. 1Km ක විතර පයින් යන්න ගමනකුත් තියෙනව ඒ ගමනත් බොහොම සුන්දර එකක්. ඒ ගමනේදී තව පොඩි දියඇල්ලක් දකින්න පුලුවන් ඒකට කියන්නෙ පුංචි දුංහිඳ කියල.

මෙන්න මේ සුන්දර දුංහිඳ දියඇල්ලත් එක්ක බැඳී පවතිනව විවිධ ජනශ්‍රැති. ඒ අතර ප්‍රේම කතා එහෙමත් තියෙනව. ඔය ගම්පොළ රාජධානිය පැවති කාලයේ රාජ කුමාරිකාවක් ඉඳල තියෙනව මාම්පිටිය අනුහස් මැණික් බණ්ඩාර කියල ඔය කුමාරිකාව කහපෙතිය ආරච්චිබණ්ඩාර කියන සාමාන්‍ය වැසියෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වල තියෙනව. මේකට රජතුමා තදින්ම විරුද්ද වුනු නිසා කුමාරිකාව මාළිගාවෙන් පැනල යනව එයාගෙ පෙම්වතා එක්ක.ඉතින් ඔහොම පැනල යද්දි ඒ දෙන්න ඇවිත් තියෙනව කොස්ගොල්ල කියන පැත්තට. ඔය ප්‍රදේෂයෙ විශාල වශයෙන් ගල් වලින් තමයි නිර්මානය වෙලා තියෙන්නෙ. ඉතින් මෙහෙම තිබ්බ විශාල ගල් පර්වතයක් උඩට මේ දෙන්න අමාරුවෙන් ගොඩවෙල කවදාවත් වෙන් නොවෙන්න දිවුරුම් දීල තියෙනව. එහෙම කරල ඒ දෙන්න මේ ගල් පර්වතයෙන් පහලට පැනල සියදිවි නසාගෙන තියෙනව. එදාම රෑ මහා කුණාටුවක් ඇවිත් ඔය පළාතම ගසාගෙන ගිහින් තියෙනවා.එදා ඔය මහා කුණාටුවත් එක්ක මැණික් බණ්ඩාර කුමරිය හඬන ශබ්දය ඇසුන කියලයි ගම්මු කියන්නෙ. අදටත් දුංහිඳ ඇල්ල පිසගෙන හමාගෙන එන තද සුළඟ සැඩ වුනාම කුමරිය හඬන ශබ්දයලු ඇහෙන්නෙ.

ප්‍රේමකථා විතරක් නෙමෙයි දුංහිඳ එක්ක තව බොහොම අපූරු කථාවක් බැඳී තියෙනව. කුමාරසිංහ කියන ඌවෙ හිටපු කුමාරයෙකුට අදාල නිදානයක් දුංහිඳ කොහෙ හෝ සඟවා තියෙනව කියල විශ්වාසයක් තියෙනව. ඒ වගෙම තමයි රත්තරන් තෝඩු තියෙන මාලුවෙක් මේ නිදානය ආරක්ෂා කරමින් ඉන්නවලු. ඔය මාලුව අවුරුද්දකට සැරයක් උඩට මතුවෙනව කියලත් කියනව. කොහොම වුනත් ඔය නිදානය ආරක්ෂා කරන දුංහිඳ, අවුරුද්දකට සැරයක් මිනිස් බිල්ලක් ගන්නවලු.
ඉතින් දුංහිඳ බලන්න යන ඔයාලා මේ කතා අහල නිදානය හරි අර මාලුවව හරි හොයන්න වතුරට නම් බහින්න එපා කියලයි බදුලු පුත්‍රයට කියන්න තියෙන්නෙ. මොකද කොහොමත් දුංහිඳ වතුර වැටෙන තැන ඉතාමත් ගැඹුරුයි.ඒකනිසා එතන නාන්න කරන්න යන්න නම් එපා. ඒත් එක්කම මැණික් බණ්ඩාර කුමරිය හඬන ශබ්දය ඔයාලටත් ඇහෙනවද කියල බලන්න අමතක කරන්න එපා..........

Tuesday, August 24, 2010

බදුල්ල.. නම උපන්හැටි

මුලින්ම බදුල්ල ගැන කතා කරද්දි නමින්ම පටන් ගන්න එක හොඳයි කියල බදුලු පුත්‍රයට හිතුන.ඇත්තටම බදුල්ලට කොහොමද මේ නම ලැබුනෙ? මේ ගැන පුරාවෘත ගණනාවක්ම තිබුනත් වඩාත්ම පිළිගන්න පුලුවන් එකක් තමයි බදුල්ල කියන ගස් වර්ගයක් මේ ප්‍රදේෂයේ බහුලව තිබුනු නිසා බදුල්ල කියන නම ලැබුන කියන එක. තවත් ජනශ්‍රැතියකින් කියවෙන්නේ මේ බදුල්ල කියන ගස් වර්ගය අති විශාල වශයෙන් ප්‍රදේෂය පුරාම පැතිරිලා ඈතට වදුලක් වගේ දිස් උනාලු. ඉතින් මේකට වදුල වදුල කියල පසුකාලීනව වදුල, බදුල්ල උනාලු.
ඒ කොහොම උනත් අද වනවිට මේ බදුල්ල ගස් වැඩිය දක්නට ලැබෙන්නෙ නෑ.

Monday, August 23, 2010

බදුලු පුත්‍රයාගේ බ්ලොග්කරනය

බදුල්ල.......trip එකක් යන්න හැමෝම වගේ තෝරගන්න ප්‍රදේශයක්. ඉතින් එහෙම පළාතක බලන්න තියෙන දේවල් මොනාද? ඇයි ඒවා වැදගත් වෙන්නේ වගේ දේවල් කියන එක තමයි මේ බ්ලොග් එකේ ප්‍රධාන අරමුණ.
බදුලු පුත්‍රයා තොරතුරු තාක්ෂ්ණය ගැන දන්න දේවල්, තොරතුරු තාක්ෂණයට සම්බන්ධ අලුත් news එහෙම සිංහලෙන් ඉදිරිපත් කරන එකත් තව අරමුණක්.
කෙටියෙන්ම කිවුවොත් මේ බ්ලොග් එකේ post කරන දේවල් විශේෂිත දේකට සීමාවෙලා නෑ.ඉතින් මේකෙ posts මොනද කියල දැනගන්න රැඳී ඉන්න බදුලු පුත්‍රයා එක්ක.